Showing posts with label කාව්‍ය. Show all posts
Showing posts with label කාව්‍ය. Show all posts

Saturday, October 3, 2015

සෙනෙහසක පහන්..



















මඳක් ඉස්සී බලන විට ඇස් මඟහරින
අකුරු නැති කවි අතර ගොළු බව
දරන්නට නොහැකිව වසන්තය නික්මිණ..

එහෙත් මිතුරිය,

ඇස් වසාගෙන අවදියෙන් සිටි ප්‍රේමය
දැල්වූ පහන් වෙයි තවත් අපමණ
ජීවිතය නිවෙන තුරු දැල්වෙන...

-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

Sunday, April 12, 2015

සිහිවටන...




















පියවෙමින් ඇති සඳක මඳ එළියක..
මල් බඳුන් පැහැයෙන් ඇඳෙන සැඳෑ අහසක..
චෙරි මලක මෘදු පියල්ලක දෙකක..
දිගු සෙවනැලි සදන උයන් තුරු සෙවණක..

හුරු පුරුදු  සුළඟක සිහිවටන මුසුකර..
ඔබට කියවන්නට බොහෝ දේ තබා ඇත මම..

අහම්බෙන් හෝ ඔබට මුණගැහෙන කවියක දෙකක..
ගිලිහුණේ අතිනත් නොවේ ජීවිතය බව ලියා ඇත....


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
 

Sunday, January 25, 2015

කළු ජනවාරියට වසර පහයි. ප්‍රගීත් කෝ..?




















උණු රුහිරු සුවඳයිද නිජබිමක සාරය මැරූ හැටී
සුදු වෑන් ඉගිළුණිද පපු සොයා තබමින් අමු වෙඩී
පන්හිඳක් ගොළුවෙයිද ආදරෙන් අඳුරෙහි ලියූ එඩී
ජනවාරි එලියයිද මිනිහෙක්ව මතකයක් වුන දැඩී...


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
 

Wednesday, December 3, 2014

දෙසැම්බරයක කවි....





















ලදළු පත් නැළවෙනා මුදු සුලඟකිනි
සුවඳ සුදු අරවින්ද පිපි ලෙසිනි
නිලන තුරු සිරසි මත සඳ පිරුණි
ඔබෙ නයන දිගු බැල්ම සිත ඇඳුණි...

ළයාදර සිහින අග රැඳි සුසුම්වැනි
අහිංසක සඳ මුහුණ වදනක සිනාසුණි
දයාබර සිතුවමක පැහැ ගෙන මල් සැළුණි
සෙනෙහෙබර දෙසැම්බරයක තව කවි පිපුණී...


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

Tuesday, December 2, 2014

ත්‍රිමා...



















සැලෙන සෙලවෙන සිත් දරාගෙන
සටන් පෙරමුණු වුනි මලානික
එකම සිහිනෙක ජයම පත පත
ත්‍රිමා ඔබ විය රතු පියාපත...

දැවෙන දැල්වෙන අඳුරු යුගයක
ටයර් සෑ දුම් නැහැය හකුළන
සටන් සගයින් මියෙන විට තව
සටන සියතට ගත් පහන විය  නුඹ...

පෙනෙන නොපෙනෙන ජයක පෙරමඟ
කුරිරු වධයක උපරිමය විඳ
දිවිය අතහැර ගියද මිලිනව
නොමල මිනිසා නුඹයි බබලන...

පිපෙන හිනැහෙන අළුත් මල් වල
සුවඳ කොයිබද ගියේ අතහැර
මියෙන උපදින බොහෝ දිනවල
ඔබෙ රුහිරු ඇත සැඳෑ අහසක...

නැඟෙන පිබිදෙන යෝධ පෙම ලඟ
තිළිණ කළ මේ සෙවණ "ඉගෙනුම"
නිමා නොවුනත් ධවල භීෂණ
ත්‍රිමා එනවද සටන් බිම වෙත?..

  
-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-


Sunday, November 30, 2014

දෙසැම්බරයක..




















තුහින පිණි පා දොවන දෙසැම්බර් අහස යට
දීර්ඝම දවස් ඇත සඳත් හෙමිහිට නිවෙන..

නිදිබරම තුරු කිණිති නිසොල්මන් සෙවනැලි සදන
රැය ගෙවෙයි, බලා ඉමි ඔන්ලයින් එයිදැයි සොඳුර..

පහන් තරු මග හැරුණු ජීවිතේ අඳුර ලඟ
සහන් එළි දල්වමින් ඔබ හිඳියි බොහෝදුර..

ඉඳහිටක හමාඑන මඳනලක මල් සුවඳ මුසුකර
ආස කවියක් පා කරමි ඔබව සිපගනු පිණිස..

සිතින් මම මවාගෙන ඔබේ රුව ගුණ වරුණ
අහිංසක සිනහවක දිගහරිමි  ජීවිතය..

මිහිදුමට තුරුළුවී අඳුරු වෙයි මුළු හන්තාන
වැහි වලා නිවායයි ඔබ නොමැති සඳපාන..

කවිපොතෙහි කවි අතර වසත් මල්  සුපිපෙන්න
එක් වරක් හෝ ඇවිත් දැකගන්න ඉඩදෙන්න..

ඉවසමින් දකින හැම නෙතක ඇඳි පෙම් සිහින
සරසවිය වෙත එන්න මගේ හදවත රැගෙන..


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

Monday, November 24, 2014

ප්‍රාර්ථනාවක සිසිරය...



















ගිනිදැල් පවා මෘදුව දැල්වෙන පහනක
මලානික එළියෙහි සැලෙන සෙවනැලි අතර
අඩක් ලියැවුණු කවියක් දෙකක් තුරුළු කරගෙන
සිසිරයෙහි රාත්‍රිය යළි යළිත් නිමාවිය...

තෙතබරිත අහස්කුස සෙමින් සුසුමන් සලන
පත් සිඳුණු තුරු පවා මතක උණුසුම සොයන

තබා ගිය සළකුණුත් හිම වලින් මැකී යන
සිසිරයෙහි හිමිදිරිය යළි යළිත් උදාවිය...

එහෙත් සුහදිනිය..,


දැක නැතත් ඔබේ ඔය පුංචි ඇස් පියවි ලෙස
වසන්තය ගෙන එතැයි බොහෝ විට මට සිතිණ....


 -රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

Tuesday, November 18, 2014

රහසකට රහසින්....

















හේමන්ත උයන වෙත සුළඟ හෙමිහිට එන්න
විලෝ තුරු හෙවණ යට මල් කිණිති අතුරන්න

දුක දැකපු දෑසකින් ජීවිතේ දැකගන්න
සුළඟ ඔබ නොකියන්න විඳගන්න ඉඩදෙන්න...

කදෝකිමි එළි අතර නිවෙන තරු දිදුලන්න

වැහිවලා සේද සළු සෙමින් ඉවතට යන්න
ඇදවැටුණ මිනිසකුගේ ආදරය දල්වන්න
නොවැම්බර් සුසුමකට උණුසුමින් ලංවෙන්න...

සඳඑලියෙ නැහැවෙමින් සෙනෙහසින් සැනහෙන්න
වසන්තය හමා එන සිහිනයෙහි නවතින්න
දුක පිරුණු සිනහවක සොඳුරු බව වැටහෙන්න

කවියකට තුරුළු වී හාදු එක එක දෙන්න...

විලෝ තුරු පත් සැලෙන සිලිසිලියෙ තනිවෙන්න
හිතන්නට බොහෝ ඇති තවත්
දේ දැනගන්න
මතකයන් විතරමද ජීවිතයෙ අස්වැන්න
 
ආදරය මුණගැහෙන කවිපොතම ඔබ වෙන්න...
 

උයන වෙත ඔබ එන්න....

-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-


Monday, May 19, 2014

සිරිපොදක ..


















කළු වලා සේද සළු අතුරමින් විටින් විට. . .
වගුරුවයි සිහිල් පොද වසන්තයෙ ඇරඹුමට. .
දළු දමා තුරු ලතා ඇහැරෙනා සෙනෙහසට. .
හිරු එබෙයි හෙට උදේ මල් පිපෙන උණුසුමක. . .


 -රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

Saturday, May 10, 2014

වස්සානය....















එක් මලක් හෝ නොපිපි ගිම්හාන කාලයක
තුරුලතා පණපොවා අලුත් දළු ඇහැරවන
නිලන නිල් වසන්තය හරිත පැහැයෙන් ඇන්ද
මේ ඒ වස්සානයමයි මතකයිද ස්නේහය...

බොරැල්ල සුසානයේ ශ්වේත උස චිතකවල
ප්‍රතාපවත් මිනිසුන් දැවෙන කළු සැඳෑවල
මතක අළු පොඟවා තිලිණ සේ පසට දුන්
මේ ඒ වස්සානයමයි මට මතක විදියට..

අම්මගේ අතේ එල්ලී යනෙන විට කුඩාකල
අනෝරා ඇදහැලී අහස ගුගුරන විටෙක 
මා නොතෙමෙන්නට මුවාකොට සාරියෙන් සඟවාගත්
අම්මාව තෙමූ නපුරු වස්සානයමයි මතක විදියට...

විභාගය අවසන්ව ඉකුත් දින කිහිපෙකට පෙර 
යහළුවන් සමඟ ජෙනිස් කන්දෙහි නඟින විට
කුණාටුව සේ අවුත් සියළුදෙන තෙත බරිත කල
මේ ඒ වස්සානයමයි මතකයිද විනෝදය...

සරසවිය පාළුවට ගිය නිහඬ එක් සැඳෑවක
රොබරෝසි මල් මතින් තුරුළු වී ඇවිදගිය දිනෙක
සීතලම සිරිපොදක ඔබෙ කොපුළ රස බැලූ
මතකයන් තරමටම උණුසුම්ද වස්සානය...

-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

Saturday, February 9, 2013

අනියම්.. ඇරයුම්..















සිහිලාරේ උණුසුම්ව සැඟවෙන්න දැවටෙන්න..
ඔබ මාගේ රහසක්ව විඳගන්න සිපගන්න...
ඇය වාගේ කුළුඳුල්ව සැතපෙන්න රොන්ගන්න..
නිල්දෑසේ කඳුලක්ව ගිලිහෙන්න ඉඩදෙන්න...


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-


හෙට උදෙන්ම අවදිවන්න..





පිණිකැට පියළි විසිරී පය ගැටෙනු දැනේ..
මයිනක ගයති කවිගී හඬ දැනුදු ඇසේ...
හනිකට ලඳුනි පිබිදී ලොව දකිනු මෙසේ..
අරුණට සුවැති සමවී මම ලියනු කෙසේ....


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
 

මිතුරියකි ඔබ



හිනැහෙන සඳ අතර තරුවකි නුඹ ගිම්හානේ..
සුවඳෙන මන බඳින කුසුමය ඇය වස්සානේ...
කිමිදෙන රස සයුර රහසකි එම ලොවමාගේ..
ඉනුමැන සුභ සදන මිතුරිය ලෙස පෙරවාගේ...


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

ඇය නැතිව ඇය එක්ක..

















සියක් මංපෙත් සුපුෂ්පිත වී - සුවඳ සීතල රැය නිමෙයි
අදත් සඳකැන් හැඟුම්බර වී - මතක පාකර සිත පෙලයි
පෙළක් සියොතුන් දුකින් නද දී - කොහිද ආදර ඇය අසයි
තවත් කඳුලක් නෙතින් ගිලි හී - සිතුම් සාගර රළ නඟයි


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

Saturday, February 2, 2013

ගැමි අරුණක අම්මා . . .




















පිපි මහනෙල් මල් සුවඳකි මඳ නල හා මුසුවන්නේ. .
සුව සිහිලැල් පිනි වැස්සකි ගම්දොර පා පිසලන්නේ. . .
රිවි අරුණැල් රැඳි අහසකි දස අත රෑ දුරලන්නේ. .
මුව හසරැල් පිපි උදයකි පින්සර ඈ සරසන්නේ. .  .    

-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
 

නිහඬවම.. . .




















පෙති කඩා විසුරුවා.. පිටු අතර සරසන්න
මලක් වෙමි අතරමඟ.. අතුපතර මත රැඳුන..
සිතුනහොත් යම් දිනෙක.. මතක පොත පෙරළන්න
සැඟවිලා ඇති සුවඳ... නොවෙනස්ම සෙනෙහසක... 


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

ලේබල්.....




















වෙඩිහඬ ඇසී හදවත් නිහඬව හඬන
ඔබ අපි වෙසෙන ගම් නොව මායිම් ගමක
සොඳුරුම සෙනෙහෙ සිත්තම් රුසිරුව ඔපන
යුවළක් එක්වෙලා ඇරඹුවා යුග දිවිගමන..

අගපිපි මල් වුවත් සෙනෙහෙන් ඔදවැඩුණ
බිය සැක ඇතිව ගෙවුනා දින සති මාස
මව්පිය දෙදෙන තුටු කඳුළක ගිල්වමින
පැතුමක තිළිණ විය බිළිඳුගේ කිරිසුවඳ..

මව බොදු කතකි කතෝළිකය පියා
සිනාසලන පොඩිපුතු හට ආගම් නැත බෙදා
වෙඩි උණ්ඩයට බියවුන මුත් ඔවුන් එදා
පන්සල්, පල්ලි බැතිසිත් පෙරදැරිව ගියා..

කොඳ මල් පිපී දෙවටේ සුවඳින් ලපළු
තල් අරණට ඉහළින් සඳරැස් මුකුළු
සුවදෙන සෙනෙහෙ මිහිරෙන් හදවත් පිබිදූ
කාලය ගෙවී දිනයක් ඇවිදින් නොසිතූ..

ත්‍රස්ත මරුන් ගම් වැදිලා හොර රහසේ
දැන් ඇහෙනවා ළඟ ළඟ එන වෙඩි සද්දේ
මව හඬ හඬා පොඩි පුතු ඇකයට ගත්තේ
පියතුම කිව් පරිදි ලන්දට ගොස් සැඟවූයේ..

ඈ ගත රුහිරු පෙරදා කිරි කර සෙනෙහෙන්
පොවමින් දැඩි කළා පුතු ආදර සයුර තරම්
එයටම නොදෙවනිය පියතුමගේ වරුණ නිතින්
සඟවාලූවේ මරුගෙන් පුතු ගලවාගනු අටියෙන්..

අළුයම පහන් වී පසුදින හිරු නැගෙන පැයේ
ලේ විල් රක්ත පැහැයෙන් ඇත ගම් පියසේ
මව හා පියා වෙඩි වැද ඇත මැදසාලේ
පුතු තනිවෙලා කෙළෙසෙද දුක පවසන්නේ..

රණවිරු කැළම ඇවිදින් එඩියෙන් පියඹා
ත්‍රස්ත මරුන් වනසයි දිවියද නොතකා
සෙබළුන් ලන්ද අවටින් යනවිට කළඹා
ඉකිගසා හඬන පුතුගේ කඳුළැලි දුටුවා..

දෝතට රැගෙන මල් වැනි මේ පුන්චි පුතා
සෙබළ කතක් දිවගියා රතුකුරුසෙ කරා
එහිදී රජයේ නීතිය හොඳහැටි විමසා
දරුනැති දෙමළ මවකට පුතු භාරකලා..


 උදාරතර මනුෂ්‍යත්වය හමුවේ ජාති ආගම් ගෝත්‍ර ආදි සමාජමය බෙදීම් වලට කිසිඳු වටිනාකමක් නොමැත.  

 -රොෂාන් නයනජිත් හේවාවිතාරණ-


Wednesday, January 30, 2013

සසර ඔසු . . .

















රැළි රැඳි සයුරු තෙර නොපෙනෙන තටාකෙක. . .
බිඳි සිඳි නැඟෙන පෙණ පිඬුලෙස දරාගෙන . .
රිවි සැරි සරණ ලොව සරතැස නිවාගෙන. . .
එමි යමි සසර තව බුදුබණ පතාගෙන . .

-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-


Friday, January 18, 2013

හෙටවත් එන්න පුළුවන් ද .. . .




















සැලෙන තුරුපත් අළුත් දළු දැක සිනාසී සුභ පතන අලුයම. .
රුවැති කුසුමන් පිපෙන සුවඳට මුවා වී හිරු නැගෙන ලස්සන . .
කියන රහසක රැඳෙන නෙත් යුග සොයාවී නුඹ හෙටත් හෙමිහිට. .
ලියන කවිපද අතර සැඟවෙන ප්‍රියාවී හෙට එන්න තනිවම. .  .   ;)


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

Thursday, January 17, 2013

ඇයට.. . .
















සුවහස් තිළිණ මල් කලඹක සුවඳ ගෙන..
නිදහස් හරිත විල් ගොමුවක පිපුණු මල..
සඳරැස් බරිත නිල් අහසක සොඳුරු වුන.. .
සෙනෙහස් හොවන සිත් දහසක පැතුම නුඹ.. .  .

 -රොෂාන් නයනජිත් හේවාවිතාරණ-