Showing posts with label නිදහස් අධ්‍යාපනය. Show all posts
Showing posts with label නිදහස් අධ්‍යාපනය. Show all posts

Tuesday, December 2, 2014

ත්‍රිමා...



















සැලෙන සෙලවෙන සිත් දරාගෙන
සටන් පෙරමුණු වුනි මලානික
එකම සිහිනෙක ජයම පත පත
ත්‍රිමා ඔබ විය රතු පියාපත...

දැවෙන දැල්වෙන අඳුරු යුගයක
ටයර් සෑ දුම් නැහැය හකුළන
සටන් සගයින් මියෙන විට තව
සටන සියතට ගත් පහන විය  නුඹ...

පෙනෙන නොපෙනෙන ජයක පෙරමඟ
කුරිරු වධයක උපරිමය විඳ
දිවිය අතහැර ගියද මිලිනව
නොමල මිනිසා නුඹයි බබලන...

පිපෙන හිනැහෙන අළුත් මල් වල
සුවඳ කොයිබද ගියේ අතහැර
මියෙන උපදින බොහෝ දිනවල
ඔබෙ රුහිරු ඇත සැඳෑ අහසක...

නැඟෙන පිබිදෙන යෝධ පෙම ලඟ
තිළිණ කළ මේ සෙවණ "ඉගෙනුම"
නිමා නොවුනත් ධවල භීෂණ
ත්‍රිමා එනවද සටන් බිම වෙත?..

  
-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-


Friday, June 21, 2013

වීරත්වයේ හා පරිත්‍යාගයේ දිනය, ජුනි 20

















                     
                                  නිදහස් අධ්‍යාපනයෙහි උන්නතියත්, නූපන් පරපුරෙහි එහි උරුමයත් වෙනුවෙන් සටන් වැද සත්‍යයේ අල්තාරය මත අභීතව සිය දිවි කුසුම පුදකල ආදරණීය විරු සොහොයුරන් සමරා දිවයින පුරා සරසවි පරිශ්‍රයන්හි මහත් හරසරින් විවිධ සැමරුම් වැඩසටහන් සන්විධානය වෙමින් ඇත.ලෙයින් යකඩින් මර්ධනය කරමින් ධවල භීෂණයේ රුදුරු කරදඬුවෙන් ගෙල සිඳලන්නට තැත්කලද ගලාගිය රුහිරු ගංගා මතින් වුව නැවත නැවතත් සන්විධානය වෙමින්, ශක්තිමත් වෙමින් දිදුලන ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ අළුත් මල් තවමත් විකසිත වෙමින් තිබෙනු දකින්නට ඇත.  හෙට දවසේ ලක් දෙරණෙහි සුවහසක් දුවා දරුවන්ගේ නැණ පහන් දල්වන නිදහස් අධ්‍යාපන අයිතිය පිලිබඳව සුභවාදී බලාපොරොත්තු තවදුරටත් අප සිත්සතන් තුල රඳවා තබාගත හැක්කේ එබැවිනි.
                       ප්‍රාථමික සාමූහික සමාජයේ සිට වහල් වැඩවසම් ආදී අවධි පසුකොට වරතමානය දක්වාවූ විකාශනයේදී මානව සමාජය පියවරකින් හෝ ඉදිරියට ගොස් ඇත්තේ ඒ ඒ කාලවල ජීවත්ව සිටි මිනිසුන් ඉතාමත් නිශ්චිතව සිදුකල පරිත්‍යාගයන්ගෙන් හා ඒ තුල කැටි වූ ඔවුන්ගේ වීරත්වය මතිනි. දහ අට වන සියවස වන විටත් දේව මැවුම් වාදයේ ආගමික විශ්වාසයෙන් අන්ධ වූ මහා සමාජය ඉදිරියේ නොබියව අභියෝගාත්මකව නැඟී සිටිමින් පරිණාමවාදය ලොව හමුවේ දිගහල ඩාවින් , එකල මුල් බැසගෙන තිබූ මතයන් දෙදරා යන යුරින් පෘථුවියෙහි ගෝලාකාර බව පිලිබඳව වූ විද්‍යාත්මක ප්‍රකාශනය ලොව හමුවේ ජීවිත පරිත්‍යාගයෙන් සනාථ කල ගැලීලියෝ වැන්නවුන් ඊට නිදසුන් වෙති. ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයෙහි ජීව ගුණය රඳා පැවතියේත් ,පවතින්නේත් එකී වීරත්වය හා පරිත්‍යාගය නම්වූ ගුණාංගයන් තුළිනි.ජුනි 20 හුදෙක් විරු සිසුවන් කෘතවේදීව සිහිකිරීමකින් නොනැවතී ඔවුන්ගේ ඒ ආදර්ශය ශිෂ්‍ය ප්‍රජාව පමණක් නොව ඔබ අප සෑම සියළු දෙනාම තම ජීවිත තුළ තහවුරු කල යුත්තේ එහෙයිනි.ඒ ඒ නිශ්චිත අරගල වලදී ඔවුන් දිවි පිදුව මුත් මුළු මහත් සමාජයක ප්‍රගමනය සනිටුහන් කල හැකි ඒ වීරත්වය හා පරිත්‍යාගයන්ගේ ආදර්ශය ඔවුන් රෝපණය කොට තබා ගොස් ඇත.
                                       කපා දැමූ ඇඟිලි තුඬගින් වැගිරෙන රුධිරයේ රක්ත පැහැයෙන් සිය වධක කුටියෙහි "නිදහස් අධ්‍යාපනය සුරැකීම අප සතු යුතුකමක් නොව අප උරමත පැටවුනු වගකීමකි"යන වැකිය වෙනුර එදිරිසින්හ ආදරණීය සොහොයුරා ලියා තැබූයේ බිත්තියක නොව සුවහසක් අපගේ හදවත් තුලය. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරුවන් දස දෙනෙකු අමු අමුවේ මරාදමද්දීත් , ත්‍රිමාගේ හිස හිල් කර ගොස් තිබූ යකඩ පරාළ ඇණ දැක දැකත් , ලෙයම ඉල්ලන මිනීමරු පාලනයක් හමුවේ වුව එකලොස්වන කැඳවුම්කරුවා බිහිකරන්නට තරම් සටන්කාමී වූ අධිශ්ඨානශීලී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය අදත් නොසැලී සිටින්නේ ඒ අමරණීය ඉතිහාසයේ උදාරතර පියසටහන් මතිනි. නිශ්මිලා, ත්‍රිමාලා, වෙනුරලා වැනි පරමාදර්ශී සටන් සගයින්ගේ ආදර්ශය, පන්නරය හැමදාමත් මේ දෙරණෙහි දහස් සංඛ්‍යාත ශිෂ්‍ය ක්‍රියාකාරිකයින්ගේ හදවත් තුල දෝංකාර දෙමින් අරගල පිටුපස යෝධ පවුරක් සේ නැඟෙමින් ජවය ශක්තිය එක් කරනු ඇත.
                                 මිහිමව තෙත් කල රුහිරු, දහඩිය කඳුළු ප්‍රාණය නිරුද්ධ සීතල සිරුරු මතින් රැකදුන් නිදහස් අධ්‍යාපනයෙහි අමිල දායාදයෙන් සරසවි කිරුළු පලන් අද්‍යතන ශ්‍රී ලංකාවේ 'පොදු සරසවි ශිෂ්‍යයා' සැබවින්ම ඔවුන්ගේ සිහිනය වී සිටියේද යන්න ප්‍රශ්න කල යුතු අවාසනාවන්ත යුගයක අප ජීවත් වන්නෙමු.මුළු මහත් සමාජයම දැවැන්ත මර්ධනයක්, රාජ්‍ය ත්‍රස්ථවාදයක් ඉදිරියේ දණගසා ඇති මොහොතක , නිදහස් ජීවිතයක් අහිමි වූ මිනිසුන් පරිභෝජන භාණ්ඩවල වහලුන් වී සත්වයින් සේ දිවි ගෙවන අඳුරු කාල පරිඡේදයක, ආදරය විවාහය මව්පිය සබඳතා ආදී සියළු මිනිස්කම් මුදලට විකිණෙන, මිනීමැරුම්, ප්‍රචන්ඩත්වය සාමාන්‍යකරණය වූ, නිදිවැදුනු නරුම සමාජයේ සමස්ත පිරිහීම සරසවි තුලටද පිවිසීම නොවැලැක්විය හැකි මට්ටමින් ත්‍රීව වී තිබේ. අන්කවරදාකටත් වඩා  බරපතල සුවිසල් සංකීර්ණ කාර්‍ය්භාර්‍යක් සිසු ක්‍රියාකාරිකයින් හමුවේ පෙල ගැසෙමින් තිබෙන බැව් නම් වඩාත් අවධාරණයෙන් කිව හැකිය.එසේම අධ්‍යාපනය තවදුරටත් අයිතියක් නොව හුදෙක් වරප්‍රසාද ලත් වුන්ගේ වෙළඳ භාණ්ඩයක් බවට පත්වෙමින් රාජ්‍ය සරසවි උපාධිය පවා විකුණමින් ,මෙරට දුක්විඳින ජනතාව අවසාන සතය දක්වා ආසවනය කොට සූරාකමින් ඇති යුගයක ත්‍රිමාලා වෙනුරලා වැනි දැවැන්ත පෞරුෂයන් තව තවත් ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් ලෙසින් ඉස්මතුවීම ප්‍රභල සමාජ අවශ්‍යතාවයක් සේ දළුලමින් තිබේ.
  
 -රොෂාන් නයනජිත් හේවාවිතාරණ-