Sunday, March 31, 2013

සැඳෑවක සටහන්-ඇයට ලියමි



                       







                               
                                                        වසන්තය පසුකර එන මේ සුලඟෙහි පැහැයක් නැත. එහෙත් මිහිරිය, එක් මලක් හෝ තිලිණ දුන් සුවඳ සිහිවටන සේ එහි තිබෙනු මට දැනෙයි. දිය කඩිති විල්ගොමු අතරින් සිපගත් වස්සානයේ සැමරුම් එහි තවමත් හරිම නැවුම්ය. සිහිලස්ය. කටුක ගිම්හානයේ පවා මම ඉන් වසන්තය ලබමි. හරි හැටි පැහැයක් දෙන්නට නොලැබුණු අපේ මතකයනුත්  මේ සුලඟ වාගේම යැයි විටෙක මට සිතේ. වෙනසකට ඇත්තේ වසන්තය සමග එහි ගසාගෙන ගොසින් ඇත්තේ අහිමිවුන අපගේ ජීවිතයයි. තාරුණ්‍යයයි. එහෙත් එහි සදාතනික ආදරණීය ස්වරය තවමත් මා හදවතෙහි සුසර වෙමින් ඇත. දැනුදු ඔබේ සිනා හඬ සිහිනයක මෙන් මට ඇසෙයි.
                            ඒ මාර්තුවේදී සොඳුරු සරසවි බිම පුරා මලකඳන් විසිරී තිබිණ. ධවල භීෂණය හමුවේ  මගේ මිතුරන් එකිනෙකා ඝාතනය වෙද්දීත් යටත් නොවූ අප මානව නිදහස උදෙසා තවදුරටත් පෑන මෙහෙයවූවෙමු. ජීවිතය පිලිබඳ අවසාන බලාපොරොත්තුවද අතහැර සිදුවීම් එකින් එක ලෝක ප්‍රජාව  වෙත වාර්තා කරමින් සිටි මම එක්වරම විදේශගත වූයේ  දිගින් දිගටම පණිවුඩ එවමින් ඔබ ආයාචනා කල හෙයිනි. අරුණෝදයෙහි හැලෙමින් තිබුණු රොබරෝසියා මලින් වැසුණු මිතුරන්ගේ මෘත දේහ අතර හෘද සාක්ෂිය සඟවා, ඔබගේ සුරත වෙනුවෙන් පෑන අතහරින්නට මට සිදුවිය.
                     වසර දහසයකට පසුව ඔබ නැවත අහම්බෙන් මුණ ගැසෙද්දී මම අභ්‍යන්තර මාධ්‍යවේදියකු වශයෙන් සේවය කරමින් සිටියෙමි. වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළබවත් විවාපත්ව දරුවන් සමඟ නැගෙනහිර යුරෝපයේ ඔබ ජීවත්වන බවත් දැන සිටියද මම කිසිවිටෙකත් ඔබගේ සාමකාමි ලෝකයට බාධා නොකළෙමි. වසර ගණණාවකට පසුවත් උතුරා යන ආදරයෙන් ඔබගේ දිලිසෙන ඇස් කඩා හැලෙන කඳුළු අතරින් සිත්තම් කල නොවෙනස් සෙනෙහස, එක් වන්නට නොලැබුණද අප සදාතනික ආදරවන්තයින් බව ලොවට හඬගා කියන්නාක් වැන්න. ඒ මොහොතේ මහත් වූ කම්පනයට පත්ව සිටි අප දෙදෙනාටම එකඳු වචනයක් හෝ තෙපලන්නට තරම් ධෛර්යයක් නොමැතිවීම ගැන විටෙක සියුම් කණගාටුවක් ද සිතේ. ඔබට සුභ පතන්නට හෝ මට නොහැකි විය. එහෙත් මේ ආදර කථාව තවදුරටත් ලොවට රහසක්ව අතීතයේ සැඟවිය යුතු බව මගේ අදහසයි. මන්ද මෙතෙක් දුර ආ ජීවන ගමන් මඟෙහි ඉතිරිය නියමිත යුරින් සම්පූර්ණ කිරීමට  සියල්ලන් වෙනුවෙන් ඔබට වගකීමක් ඇත.
                 මේ සටහන ලියමින් ඇති මේ මොහොතේ රාත්‍රිය උදාවෙමින් ඇත. මගේ නවාතැන ඉදිරියෙන් සන්සුන්ව ගලායන නදියක් වෙයි. සඳෙහි ඡායාව එහි ජලතලය මත විසිතුරුව ඇඳී තිබෙණු කවුළුව තුලින් මට පෙනෙයි. කෙතරම් දුර ඈත අහසෙහි පායා තිබුණද ගං දියෙහි වන ඡායාව නිසා සඳ මට වඩාත් සමීපව ඇතැයි වැනි හැඟීමක් මසිතෙහි ඇතිවෙයි. එවිට මට ඔබ මතක් වේ.කෙතරම් දුරින් සිටියද පින්තාරු වී විසිරෙන මතක සුලඟෙහි කැඩපත් ඉදිරියෙහි ඔබ මා සමඟම මගේ ළඟින්ම සිටින්නාක් මෙන් මට දැනෙයි.මේ සටහනෙහි අවසානයක් පිලිබඳව මට සිතාගත නොහැක. වසර ගණණාවක් පුරා කියාගන්නට නොහැකිව සිතෙහි සිරවී තිබුණු දහසකුත් දෑ  ඡේද ලෙසින් පෙලගස්වන්නට මට ශක්තියක් නැත.  අප දෙදෙනා කලාගාරයෙහිදී අවසාන වශයෙන් නැරඹූ පරසතු මල් චිත්‍රපටයෙහි ගීත ඛණ්ඩයක් මෙම සටහනෙහිද  අවසානයට එක් කරන්නට මට සිතේ.
 

"බටහිර අහසේ රතු සිත්තම් මැකුණාවේ -  දෙනිපත අඩනහිරියා මල් පිපුණාවේ
මා ආදරය දුටු බව නොම හැඟුණාවේ-මා නැති කලෙක උන් සුවඳක් දැණුනාවේ.

                                                                                                                                                              
-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

22 comments:

  1. බටහිර අහසේ රතු සිත්තම් මැකුණාවේ
    දෙනිපත අඩනහිරියා මල් පිපුණාවේ
    මා ආදරය දුටු බව නොම හැඟුණාවේ
    මා නැති කලෙක උන් සුවඳක් දැණුනාවේ..... (Y) suba pethum !!!!!

    ReplyDelete
  2. පට්ට මචං... මම හුඟක් කැමතියි මේ ලියන විදියට.. දිගටම යමු! (Y)

    ReplyDelete
  3. සොඳුරු වදන් සිත්තමකි !!

    ReplyDelete
  4. kiyawanna puluwan appiyiya nathiwa ela

    ReplyDelete
  5. ඇයි මේකට රොබරෝසියා කියන නමම යොදාගත්තේ?

    ReplyDelete
    Replies
    1. රොබරෝසියා මල් පිපෙන පේරා වල ඉන්න මගේ නමත් රොෂාන් නේ :)

      Delete
    2. නමුත් මලේ ඔය මල කාලෙකට සැරයක් පිපිලා දවසින් දෙකෙන් පරවෙන මලක් .......... හරියට රුපවාහිනී තරු වගේ එක රයෙන් පිපිලා දවසින් දෙකෙන් පරවෙලා යනවා.

      Delete
  6. obage hekiyawa agaya karami.
    "Athithaya sihinayak pamanai-sebe suwayak ne..........

    ReplyDelete
  7. සුපිරි ලියවිල්ලක් මල්ලී...හිතා ගන්නවත් බැරි දුරක් නේ ගිහින් තියෙන්නේ.. :D මේ හිත එහෙම තමයි ලු නේ..:P (y)

    ReplyDelete
  8. ලස්සන ලියවිල්ලක්. දිගටම ලියන්න.

    ReplyDelete
  9. ඇත්තෙන්ම පුදුම ලස්සන පද ගැලපුමක් ....සටහන අවසන් වනතුරා දැනුනේ නව කතාවක ඡේදයක් වගේ ....

    “උතුරා යන ආදරයෙන් ඔබගේ දිලිසෙන ඇස් කඩා හැලෙන කඳුළු අතරින් සිත්තම් කල නොවෙනස් සෙනෙහස, එක් වන්නට නොලැබුණද අප සදාතනික ආදරවන්තයින් බව ලොවට හඬගා කියන්නාක් වැන්න“ මේ පද පෙළ නම් මගේ හිතේ තාමත් දෝංකාර දෙනවා වගේ දැනෙනවා ..

    ඇත්තෙන්ම ඔබේ හැකියාවනම් අනර්ගයි ....වෙද නලාවටත් නොදැනෙන “හදවතේ රාවයක්“ හදුනනන්නට පද ගැලපුමට හැකිබව නම් කියන්නටම ඕනෑ .

    සුබ පැතුම් ...

    ReplyDelete
  10. කියන්න වචන නැහැ රොබා... වචනයක් ගානේ රස වින්දා...

    ReplyDelete
  11. ලිපිය කෙටි වුනාට කියවද්දී ලස්සන ආදර චිත්‍රපටියක රුප මතුවුනා ... සුබ පැතුම් ඔබට !

    ReplyDelete
  12. ප්‍රතිචාර දක්වපු කියවපු රසවිඳපු හැමෝටම අනේක වාරයක් ස්තූතියි. . .

    ReplyDelete
  13. හරිම ලස්සනයි... දිගටම ලියන්න.. සුබ පැතුම්!!!

    ReplyDelete
  14. දිගටම ලියන්න ......සුබ පැතුම් .!!!!!!!!!!!!!

    ReplyDelete
  15. ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
    Replies
    1. එසේම වේවා අයියා :)

      Delete
  16. අලුත් සටහනක් එනකල් බලන් ඉන්නවා..

    ReplyDelete
  17. මේ ලියන විදිය ලස්සයි අය්යේ.
    හිමා

    ReplyDelete