Showing posts with label ආදරය. Show all posts
Showing posts with label ආදරය. Show all posts
Saturday, October 3, 2015
සෙනෙහසක පහන්..
මඳක් ඉස්සී බලන විට ඇස් මඟහරින
අකුරු නැති කවි අතර ගොළු බව
දරන්නට නොහැකිව වසන්තය නික්මිණ..
එහෙත් මිතුරිය,
ඇස් වසාගෙන අවදියෙන් සිටි ප්‍රේමය
දැල්වූ පහන් වෙයි තවත් අපමණ
ජීවිතය නිවෙන තුරු දැල්වෙන...
-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
Sunday, April 12, 2015
සිහිවටන...
පියවෙමින් ඇති සඳක මඳ එළියක..
මල් බඳුන් පැහැයෙන් ඇඳෙන සැඳෑ අහසක..
චෙරි මලක මෘදු පියල්ලක දෙකක..
දිගු සෙවනැලි සදන උයන් තුරු සෙවණක..
හුරු පුරුදු සුළඟක සිහිවටන මුසුකර..
ඔබට කියවන්නට බොහෝ දේ තබා ඇත මම..
අහම්බෙන් හෝ ඔබට මුණගැහෙන කවියක දෙකක..
ගිලිහුණේ අතිනත් නොවේ ජීවිතය බව ලියා ඇත....
-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
Wednesday, December 3, 2014
දෙසැම්බරයක කවි....
ලදළු පත් නැළවෙනා මුදු සුලඟකිනි
සුවඳ සුදු අරවින්ද පිපි ලෙසිනි
නිලන තුරු සිරසි මත සඳ පිරුණි
ඔබෙ නයන දිගු බැල්ම සිත ඇඳුණි...
ළයාදර සිහින අග රැඳි සුසුම්වැනි
අහිංසක සඳ මුහුණ වදනක සිනාසුණි
දයාබර සිතුවමක පැහැ ගෙන මල් සැළුණි
සෙනෙහෙබර දෙසැම්බරයක තව කවි පිපුණී...
-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
Sunday, November 30, 2014
දෙසැම්බරයක..
තුහින පිණි පා දොවන දෙසැම්බර් අහස යට
දීර්ඝම දවස් ඇත සඳත් හෙමිහිට නිවෙන..
නිදිබරම තුරු කිණිති නිසොල්මන් සෙවනැලි සදන
රැය ගෙවෙයි, බලා ඉමි ඔන්ලයින් එයිදැයි සොඳුර..
පහන් තරු මග හැරුණු ජීවිතේ අඳුර ලඟ
සහන් එළි දල්වමින් ඔබ හිඳියි බොහෝදුර..
ඉඳහිටක හමාඑන මඳනලක මල් සුවඳ මුසුකර
ආස කවියක් පා කරමි ඔබව සිපගනු පිණිස..
සිතින් මම මවාගෙන ඔබේ රුව ගුණ වරුණ
අහිංසක සිනහවක දිගහරිමි ජීවිතය..
මිහිදුමට තුරුළුවී අඳුරු වෙයි මුළු හන්තාන
වැහි වලා නිවායයි ඔබ නොමැති සඳපාන..
කවිපොතෙහි කවි අතර වසත් මල් සුපිපෙන්න
එක් වරක් හෝ ඇවිත් දැකගන්න ඉඩදෙන්න..
ඉවසමින් දකින හැම නෙතක ඇඳි පෙම් සිහින
සරසවිය වෙත එන්න මගේ හදවත රැගෙන..
-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
Monday, November 24, 2014
ප්‍රාර්ථනාවක සිසිරය...
ගිනිදැල් පවා මෘදුව දැල්වෙන පහනක
මලානික එළියෙහි සැලෙන සෙවනැලි අතර
අඩක් ලියැවුණු කවියක් දෙකක් තුරුළු කරගෙන
සිසිරයෙහි රාත්‍රිය යළි යළිත් නිමාවිය...
තෙතබරිත අහස්කුස සෙමින් සුසුමන් සලන
පත් සිඳුණු තුරු පවා මතක උණුසුම සොයන
තබා ගිය සළකුණුත් හිම වලින් මැකී යන
සිසිරයෙහි හිමිදිරිය යළි යළිත් උදාවිය...
එහෙත් සුහදිනිය..,
දැක නැතත් ඔබේ ඔය පුංචි ඇස් පියවි ලෙස
වසන්තය ගෙන එතැයි බොහෝ විට මට සිතිණ....
-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
Tuesday, November 18, 2014
රහසකට රහසින්....
හේමන්ත උයන වෙත සුළඟ හෙමිහිට එන්න
විලෝ තුරු හෙවණ යට මල් කිණිති අතුරන්න
දුක දැකපු දෑසකින් ජීවිතේ දැකගන්න
සුළඟ ඔබ නොකියන්න විඳගන්න ඉඩදෙන්න...
කදෝකිමි එළි අතර නිවෙන තරු දිදුලන්න
වැහිවලා සේද සළු සෙමින් ඉවතට යන්න
ඇදවැටුණ මිනිසකුගේ ආදරය දල්වන්න
නොවැම්බර් සුසුමකට උණුසුමින් ලංවෙන්න...
සඳඑලියෙ නැහැවෙමින් සෙනෙහසින් සැනහෙන්න
වසන්තය හමා එන සිහිනයෙහි නවතින්න
දුක පිරුණු සිනහවක සොඳුරු බව වැටහෙන්න
කවියකට තුරුළු වී හාදු එක එක දෙන්න...
විලෝ තුරු පත් සැලෙන සිලිසිලියෙ තනිවෙන්න
හිතන්නට බොහෝ ඇති තවත් දේ දැනගන්න
මතකයන් විතරමද ජීවිතයෙ අස්වැන්න
ආදරය මුණගැහෙන කවිපොතම ඔබ වෙන්න...
උයන වෙත ඔබ එන්න....
-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
Friday, May 9, 2014
සවන්දෙන්න.. හදවතින්...
සුහදිණිය
ඔබ කියූ වදනක දෙකක
මම ජීවිතය
ලියූවෙමි..
ඔබේ එක් නෙත් සැරයක
අහම්බෙන් හෝ මදෙස බැලූ ඇසිල්ලෙක
මතක මල් පිපී
වසන්තය ඇහැරවන බවක්
මට දැණිනි..
සඳ කිණිති හැමදාමත්
ඔබේ සුදු මුහුණ
වසාගෙන තිබුණි..
කැන්ටිමේ මේසයක
ඔබ දකින හැම අරුණෝදයකම
දේදුණු සිහිනයක පාට අතර
ජීවිතය අතරමන් වන බවක්
මට හැඟුණි...
සිතින් තනිවන හැම මොහොතකම
මට ඔබව මතක් විය...
සිරිපොද වැසි සරසවිය සිප ගනිද්දීත්
දෑල දිග රොබරෝසි රැළි අතර දඟකරද්දීත්
සිහිලාර මිහිදුමක හන්තාන සැඟව යද්දීත්
කොහේදෝ සිට හමාඑන මල් සුවඳක
ඔබ මා සමගම
දොඩමලු වන බවක් මට දැණිනි...
එක් කලෙක ඔබව බලන්නම
මම ලෙක්චර්ස් ආ දවස් තිබුණි
ලැප්ටොප් තිරය මත
ඔබේ පින්තූර නොබැලූ
දවසක් ගත නොවන්නට ඇත
ලා පැහැ සාරියට
ඔබ හරීම හරි පියකරුය. චාම්ය...
මග තොට ඉඳහිටක
තනිව හමුවූ විටෙක
වල ගැහෙන දෙකම්මුල් පෙන්වා
ඔබ මා සමඟ සිනාසෙන විට
හාත්පස නැවතී යලි ඇරඹෙනු මට දැනෙයි..
මෙම රොබරෝසි පෝස්ටුව
ඔබ කියවන්නටද ඉඩ ඇත
මෙහි පදපේලි අතරේ සැඟව ඇත්තේ ඔබම බව
ඇතැම්විට ඔබට නිශ්චිත නොවනු ඇත..
එහෙත් සුහදිණිය..
ඔබට දෙන්නට දවසක
තවමත් ලියාගත නොහැකිවුණු
එකම එක කවියක
තනුව මෙහි සැඟව ඇත..
එයට සවන්දෙන්න....
-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
Saturday, February 9, 2013
මිතුරියකි ඔබ
හිනැහෙන සඳ අතර තරුවකි නුඹ ගිම්හානේ..
සුවඳෙන මන බඳින කුසුමය ඇය වස්සානේ...
කිමිදෙන රස සයුර රහසකි එම ලොවමාගේ..
ඉනුමැන සුභ සදන මිතුරිය ලෙස පෙරවාගේ...
-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
ඇය නැතිව ඇය එක්ක..
සියක් මංපෙත් සුපුෂ්පිත වී - සුවඳ සීතල රැය නිමෙයි
අදත් සඳකැන් හැඟුම්බර වී - මතක පාකර සිත පෙලයි
පෙළක් සියොතුන් දුකින් නද දී - කොහිද ආදර ඇය අසයි
තවත් කඳුලක් නෙතින් ගිලි හී - සිතුම් සාගර රළ නඟයි
-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
Saturday, February 2, 2013
නිහඬවම.. . .
පෙති කඩා විසුරුවා.. පිටු අතර සරසන්න
මලක් වෙමි අතරමඟ.. අතුපතර මත රැඳුන..
සිතුනහොත් යම් දිනෙක.. මතක පොත පෙරළන්න
සැඟවිලා ඇති සුවඳ... නොවෙනස්ම සෙනෙහසක...
-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
Wednesday, January 30, 2013
බ්ලොග්කාරී . . .
සඳවත සඟවා වෙන නමකින් හිඳ
සුනිල සිතුම් සෙවනැලි ගෙත්තම් කර
මුතුකළ ඔබෙ ඔය බ්ලොගය පුරා මම
රහසෙම සැරුවෙමි..................
විනිවිද නුඹේ සිත දැනෙන තුරාවට
සිතිවිලි සයුරේ රුවල මුදාහැර
දේදුණු අහසේ දෑස පියාගෙන
පාවෙන, ඉගිලෙන ලොවට වෙලා මම
දැන්-තව හිනැහෙමි............
ස්වර තත් වැයෙනා සොඳුරු සැඳෑවක
සෙනෙහෙ සිහින හැඟුමන් දෝතට ගෙන
සඳ දිය ගඟුලේ මුසුකර තනිවම
මිහිඳුම් අහසේ වළා වියන් අග
රඳවා ඉවසමි.............
ඒ වැසි දහරේ තෙමෙන තුරා නුඹ
-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
Friday, January 18, 2013
හෙටවත් එන්න පුළුවන් ද .. . .
සැලෙන තුරුපත් අළුත් දළු දැක සිනාසී සුභ පතන අලුයම. .
රුවැති කුසුමන් පිපෙන සුවඳට මුවා වී හිරු නැගෙන ලස්සන . .
කියන රහසක රැඳෙන නෙත් යුග සොයාවී නුඹ හෙටත් හෙමිහිට. .
ලියන කවිපද අතර සැඟවෙන ප්‍රියාවී හෙට එන්න තනිවම. . . ;)
-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
Thursday, January 17, 2013
ඇයට.. . .
සුවහස් තිළිණ මල් කලඹක සුවඳ ගෙන..
නිදහස් හරිත විල් ගොමුවක පිපුණු මල..
සඳරැස් බරිත නිල් අහසක සොඳුරු වුන.. .
සෙනෙහස් හොවන සිත් දහසක පැතුම නුඹ.. . .
-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
Monday, January 14, 2013
ආරාධනා . . .
දේදුණු සඟවා සිහිනෙක . . . සුසුමක තැවරූ සඳවත . . .
මහවැලියේ නිල් දියවර අතර පෙනෙනවා . . . .
සෙවනැලි අතුරා එකිනෙක . . . සීතල රෑ මිහිදුම් මැද . . .
හන්තානම බලා ඉඳන් සුවඳ සොයනවා . . . .
දළුලන හිම වසන්තයක . . . සමනල් තටුවක නැoවුන
ඉඳුනිල් නෙත කඳුළු මතක අතර දිලෙනවා . . . .
මල්පෙති විසිරුණු සුලඟට . . . සඳකැන් තවරා හෙමිහිට . . .
සරසවි බිම සැරසීගෙන අපව සොයනවා . . .
-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
Saturday, January 12, 2013
ඔබ දන්නවනම් . . .
තරු දහසක් මැද ඔබ සඳවී සිනහ සලා ..
මල් පිපිලා සිත ලඟ සුවඳක් හමලා ..
දැල්වෙන හැඟුම් ගොළුවී සුලඟක එතිලා ..
රහසෙම නිමෙයි සුසුමක උණුසුම තියලා .. .
-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
Tuesday, January 8, 2013
මිහිරිය .. .
විල් තෙර සුලඟ සිහිලෙන් ගත නැහැවෙද්දී..
කඩුපුල් සුවඳ පියුමන් තව සුපිපෙද්දී..
සිතුවම් මවන සඳකැන් රැය නළවද්දී..
සැමරුම් මතක සුවඳයි ඇය සිහිවෙද්දී. . .
-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
Monday, January 7, 2013
සුගත් ගේ කවිය . .
ඔබ වන් දුවක ලද මව්පියො නිවුනා වේ..
බැතිබර සෙනෙහෙ සිතුවම් රූ ඇඳුනා වේ..
නිති ඔහු සමග යන මග මල් පිපුණා වේ..
ජීවන සුවඳ නුඹ මගෙ මතකයෙ රැඳුණා වේ.. .
-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
Sunday, January 6, 2013
සඳ මතක . .
පළා පැහැ අතු රිකිළි අග දිලිසෙන
මල් පියලි පිනි බිoදු සිහිලස සදන සවසක
සිනාසෙන සරත් සඳ දුටුවා මම
ඒත් ඒ ඔබ නික්ම යන්නට පලමුව. . .
අදත් මම සැඳෑවට ඇවිද යමි සරසවියෙ ඉඳහිට
පායා ඇතත් සඳ එදා මෙන් වසාගෙන හන්තාන
නොගිලිහුණ කඳුලක් ඇති නිසා තවම ඇස් අග
අනෝරා වැසි වට කලෙක මෙන් බොඳව ඇත සඳ
මට. .
හැමදාම. . . .
-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
Monday, December 31, 2012
ගඟ අද්දර . . .
සුදු ඇතුරුණු හිම සීත ඉවුරු දිග
නිල් දියරැළි නෙක සිත් තෙමුවා. .
සිසිර වසන්තෙක දුහුල් වළා මැද
මල් මඳවැසි කඳුලැලි සැළුවා. . .
විහඟ ගීත පිරි සිහිල් සුලo රැළි
ආසිරි චාමර ඇද වැටුනා. .
දෙනෙත් බොඳව ගිය මතකය අද්දර
මම තනිවම සිහිනෙක සැරුවා. . .
මගෙ අතැඟිලි අග රැඳුණු උණුසුමක
ඔබ උන් හැටි සිහියට නැඟුණා. .
ගිලිහුණ සුරතෙහි ජීවන සුස්මන
අයදින සෙනෙහස සිත පෙළුවා. . .
සක්මන් අහසෙහි සුදු සඳ සෙවනැලි
තරු කැටයම් කඩුපුල් පිපුණා. .
ගoදෑල පුරා රැඳි අපේ කතාවල
සිතුවම් එකිනෙක මම දුටුවා. . .
විරහ සයුරු තෙර සීතල සිපගෙන
උණු කඳුලක් දෙනෙතඟ රැඳුණා. .
ඉස්සර සවසක සමුගෙන ගිය නුඹ
කවදා හෝ යළි ඒවි කියා සිතුණා. . .
ඒවි කියා පැතුවා . . . .
-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
ඔයාගේ හදවතේ ලියපු කවියේ......ලිව්වද.....
තරු පිරි අහසේ සඳ ඔබ කිව්වම
තරු හිනැහී ඔච්චම් කල තරහට
අරගෙන හෙමිහිට තරු එක එක මම
ඔය දිගු වරලෙහි ගැසු හැඩ....ලිව්වද
සේපාලිකා මල් අහුරක් අරගෙන
සඳවතුරින් පිණි සිහිල දොවාගෙන
පිණිබිඳු බේරෙන සුවඳැති පෙති මත
සැතපුනු තුරුලේ උණුසුම...... ලිව්වද
ඔය නිල් ඇස් දෙක වහලා අඳුරෙම
උඳුපියලිය කන හාවකු අරගෙන
හැඩ ඔබේ උකුළේ නිදිකර හෙමිහිට
ඇස් දෙක අරින්න කිව්වා.....ලිව්වද
-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
Subscribe to:
Posts (Atom)

















