Tuesday, February 26, 2013

එක දවසක . . සවසක . . .

                          

                                                   












                         ගංදියට එබෙන සඳ ඉඟි කරන නිහඬ රැය නිශාවේ අන්තයට උදාවෙමින් තිබිණ.දුහුල් වලා රොදකින් මුවාවුණ සඳ යන්තමින් කිරණ විහිදුවද්දී බටහිර අහසේ දිස්වූ එකම තනි තරුවත් වළා අතර සැඟව ගොස් අපැහැදිලිව ඇත. ළඟ ළඟම එන වැහිකෝඩයට අත වනන මහවැලිය වෙනදා මෙන්ම සන්සුන්ව ගලා යයි. හන්තාන අද්දරින් හමාඑන නැවුම් සුලඟේ සිහිලස ගත දැවටෙද්දී ඈස් පියාගන්නට සිතේ.
                                පස්වරුවේ ශිෂ්‍ය සංගමය රැස් වන්නට මත්තෙන් මොහොතක් හෝ අක්බාර්  පාලම මත හුදකලාව ගතකිරීම දැන් දැන් පුරුද්දක්ව ගොස් ඇත.සියුම්ව දිගහැරෙන ජීවිතයේ සුස්මනය අඩි ශබ්දය හදවතට වඩාත් සමීපව දැනෙන්නේ සිතිවිලි අතර තනිවන මෙවන් විටකදී පමණි.
                    කලෙක පටන් සියුම් වේදනාවකින් පිරී යමින් ඇති මසිත නොසන්සුන්ව ඇතත් ඒ අතරින් මම සෑමවිටම සිනාසෙන්නට වෙරදරමි.නිදහසේ ගලාගිය සැහැල්ලු ජීවිතය අතීත නටබුන් අතර ආදරණිය සිහිවටන ඉතිරිකර සැඟව ගියාක් වැන්න. මඟ හැරීම් , අහිමි වීම් , වැරදීම් සියල්ල මා සතු දේවල් මිසක කිසිවෙකුත් ඊට හේතු ලෙසින් මට නොපෙනෙයි.
       සෙමි සෙමින් හිරිකඩ සිපගනිද්දී මුහුණ දෑතින්ම අල්ලා ඇඟිලිකරු අතරින් ක්ශිතිජය බැලුවද හාත්පස අඳුර එහි ලස්සන ගිලගෙන ඇත. ඉඳහිට ගෙම්බකු අත්වැල සපයන රැහැයියන්ගේ අඬහැරය ඈතින් දුක් ගීයක් මෙන් ඇසෙයි.වසර අවසාන කෙටි නිවාඩුවට සිසුන්ගෙන් හිස් වූ සරසවිය පාළුවට ගොස් ඇත.අතරින් පතර විසිරුණු පින්තාරු වන මතකයන් එකින් එක ලියැවෙන ගිම්හාන අන්දරයෙහි මඟ හැරුණු වසන්ත පරිච්ඡේදය හිස්තැනක් සේ තවමත් අනාගතයට ඉතිරිව ඇත.
                        වූස් කැන්ටිමේ නිතර ගැවසෙන මේ බලුතඩියා කළුවරකදී වුවද මට හඳුනාගත හැකිය.පාලම මතින් කොහේ හෝ යන්නට පැමිණි ඌ මා දැක නතරවන්නට ඇත. මෙහිදී හමුවූ බල්ලන් අතුරින් වැඩියෙන්ම මා සිත්ගත්තේ මාකස් ශාලවේ බ්‍රවුනා ය. බෝඩිමේ නවාතැනට  පැමිණියාට පසුවත් කිහිප විටක්ම මාකස් ගිය  මට නැවත බ්‍රවුනා මුණගැසුනේ නැත.
             දේශපාලනික කරුණු කාරණා ඇතුළු මේ මොහොතේ ශිෂ්‍යයාගේ භූමිකාව සංවාදයට නංවන ශිෂ්‍ය සංගමයට සහභාගී වීම කෙරෙහි මා තුල ඇත්තේ දැඩි උනන්දුවකි. සියලු පීඨ නියෝජනය කරමින් පැමිණෙන සිසුන් පැය කිහිපයකට හෝ මුණ ගැසීම මට මහත් සතුටක් ගෙන දෙන්නකි. ඉතිරි මිනිත්තු කිහිපයද නික්ම යන්නට මත්තෙන් මා එහි යා යුතුය. ජීවිතයේ අවසාන ආලොකය සොයන මෙරුන් සනාතන මන්දිරයේ විදුලි පහන් වටා රොද බැඳගෙන ඇත. වැහි අඳුරේ සෙවනැලි මකමින් වළාකුළු අතරින් නැවතත් සඳෙහි සේයාව පැහැදිලිව පෙනේ. මීට පෙරද මා හොඳින් අත් දැක ඇති අයුරින් පේරාදෙණියේ අහස නම් කිසිදා විශ්වාස කල නොහැක. 


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
 

6 comments:

  1. නියම රොමෑන්ටික් ලියවිල්ල.....

    ReplyDelete
  2. ඔව ඔව්.. අහස සුවර් නෑ... ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. ස්කුබි විස්කෝතුවක් කනගමන් කියෙවුවත් හිතට දැනුන මටත්

    ReplyDelete
  4. සමනල කන්දෙ සිට ගලා එන මහවැලි ගංගා තෙම බොහෝ ජලය සේම සුන්දර මතකයන්ද කැටිව එයි. ඇ සෙමෙන් සෙමෙන් අඛ්බර් පාලම වෙත ලන්වන්නේ සියලු මේ සොදුරු බිම් පියස පසු කරන්නට මත්තෙන් ඈ සිත්හ ‍රැදි සියලු රහස් පවසන්නට මෙනි. ඒ අතර සංඝමිත්තවේ සිට ප්‍රෞඩව නැගෙන පාලම දක්වා ඇ ‍රැස්කර ගත් මතක පවසන්නේ විලියෙන් ඇබරෙමිනි.
    මේ සොදුරු අඛ්බර් තෙම ඈ ඉදිරියේ නැගී සිටින්නේ මවගත් තෙජසින් නම් නොවේ, ඒ වු කලි පෙරදෙනිය පලුමු ඉංගිනේරු සිසු සමුහය විසින් ගොඩ නැගීමෙන් අනතුරුව දශක ගනනක් ‍රැදි අත්දැකීමි මතින් නැගී සිටියවු තේජසකි, සැබවින්ම ඔහු වු කලි ඒ තේජසට සැබවින්ම උරුම කම් කියු තැනැත්තෙකි.
    ඈ ඔහුට හුගක් දේ පවසන්න ඇති, ඔබ මෙන්ම ඔහු අසල තනිවුන සැදැවක අසන්නට ලැබුනි මටත් බොහෝදේ ඔහුගැන .....

    ReplyDelete