Friday, June 21, 2013

වීරත්වයේ හා පරිත්‍යාගයේ දිනය, ජුනි 20

















                     
                                  නිදහස් අධ්‍යාපනයෙහි උන්නතියත්, නූපන් පරපුරෙහි එහි උරුමයත් වෙනුවෙන් සටන් වැද සත්‍යයේ අල්තාරය මත අභීතව සිය දිවි කුසුම පුදකල ආදරණීය විරු සොහොයුරන් සමරා දිවයින පුරා සරසවි පරිශ්‍රයන්හි මහත් හරසරින් විවිධ සැමරුම් වැඩසටහන් සන්විධානය වෙමින් ඇත.ලෙයින් යකඩින් මර්ධනය කරමින් ධවල භීෂණයේ රුදුරු කරදඬුවෙන් ගෙල සිඳලන්නට තැත්කලද ගලාගිය රුහිරු ගංගා මතින් වුව නැවත නැවතත් සන්විධානය වෙමින්, ශක්තිමත් වෙමින් දිදුලන ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ අළුත් මල් තවමත් විකසිත වෙමින් තිබෙනු දකින්නට ඇත.  හෙට දවසේ ලක් දෙරණෙහි සුවහසක් දුවා දරුවන්ගේ නැණ පහන් දල්වන නිදහස් අධ්‍යාපන අයිතිය පිලිබඳව සුභවාදී බලාපොරොත්තු තවදුරටත් අප සිත්සතන් තුල රඳවා තබාගත හැක්කේ එබැවිනි.
                       ප්‍රාථමික සාමූහික සමාජයේ සිට වහල් වැඩවසම් ආදී අවධි පසුකොට වරතමානය දක්වාවූ විකාශනයේදී මානව සමාජය පියවරකින් හෝ ඉදිරියට ගොස් ඇත්තේ ඒ ඒ කාලවල ජීවත්ව සිටි මිනිසුන් ඉතාමත් නිශ්චිතව සිදුකල පරිත්‍යාගයන්ගෙන් හා ඒ තුල කැටි වූ ඔවුන්ගේ වීරත්වය මතිනි. දහ අට වන සියවස වන විටත් දේව මැවුම් වාදයේ ආගමික විශ්වාසයෙන් අන්ධ වූ මහා සමාජය ඉදිරියේ නොබියව අභියෝගාත්මකව නැඟී සිටිමින් පරිණාමවාදය ලොව හමුවේ දිගහල ඩාවින් , එකල මුල් බැසගෙන තිබූ මතයන් දෙදරා යන යුරින් පෘථුවියෙහි ගෝලාකාර බව පිලිබඳව වූ විද්‍යාත්මක ප්‍රකාශනය ලොව හමුවේ ජීවිත පරිත්‍යාගයෙන් සනාථ කල ගැලීලියෝ වැන්නවුන් ඊට නිදසුන් වෙති. ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයෙහි ජීව ගුණය රඳා පැවතියේත් ,පවතින්නේත් එකී වීරත්වය හා පරිත්‍යාගය නම්වූ ගුණාංගයන් තුළිනි.ජුනි 20 හුදෙක් විරු සිසුවන් කෘතවේදීව සිහිකිරීමකින් නොනැවතී ඔවුන්ගේ ඒ ආදර්ශය ශිෂ්‍ය ප්‍රජාව පමණක් නොව ඔබ අප සෑම සියළු දෙනාම තම ජීවිත තුළ තහවුරු කල යුත්තේ එහෙයිනි.ඒ ඒ නිශ්චිත අරගල වලදී ඔවුන් දිවි පිදුව මුත් මුළු මහත් සමාජයක ප්‍රගමනය සනිටුහන් කල හැකි ඒ වීරත්වය හා පරිත්‍යාගයන්ගේ ආදර්ශය ඔවුන් රෝපණය කොට තබා ගොස් ඇත.
                                       කපා දැමූ ඇඟිලි තුඬගින් වැගිරෙන රුධිරයේ රක්ත පැහැයෙන් සිය වධක කුටියෙහි "නිදහස් අධ්‍යාපනය සුරැකීම අප සතු යුතුකමක් නොව අප උරමත පැටවුනු වගකීමකි"යන වැකිය වෙනුර එදිරිසින්හ ආදරණීය සොහොයුරා ලියා තැබූයේ බිත්තියක නොව සුවහසක් අපගේ හදවත් තුලය. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරුවන් දස දෙනෙකු අමු අමුවේ මරාදමද්දීත් , ත්‍රිමාගේ හිස හිල් කර ගොස් තිබූ යකඩ පරාළ ඇණ දැක දැකත් , ලෙයම ඉල්ලන මිනීමරු පාලනයක් හමුවේ වුව එකලොස්වන කැඳවුම්කරුවා බිහිකරන්නට තරම් සටන්කාමී වූ අධිශ්ඨානශීලී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය අදත් නොසැලී සිටින්නේ ඒ අමරණීය ඉතිහාසයේ උදාරතර පියසටහන් මතිනි. නිශ්මිලා, ත්‍රිමාලා, වෙනුරලා වැනි පරමාදර්ශී සටන් සගයින්ගේ ආදර්ශය, පන්නරය හැමදාමත් මේ දෙරණෙහි දහස් සංඛ්‍යාත ශිෂ්‍ය ක්‍රියාකාරිකයින්ගේ හදවත් තුල දෝංකාර දෙමින් අරගල පිටුපස යෝධ පවුරක් සේ නැඟෙමින් ජවය ශක්තිය එක් කරනු ඇත.
                                 මිහිමව තෙත් කල රුහිරු, දහඩිය කඳුළු ප්‍රාණය නිරුද්ධ සීතල සිරුරු මතින් රැකදුන් නිදහස් අධ්‍යාපනයෙහි අමිල දායාදයෙන් සරසවි කිරුළු පලන් අද්‍යතන ශ්‍රී ලංකාවේ 'පොදු සරසවි ශිෂ්‍යයා' සැබවින්ම ඔවුන්ගේ සිහිනය වී සිටියේද යන්න ප්‍රශ්න කල යුතු අවාසනාවන්ත යුගයක අප ජීවත් වන්නෙමු.මුළු මහත් සමාජයම දැවැන්ත මර්ධනයක්, රාජ්‍ය ත්‍රස්ථවාදයක් ඉදිරියේ දණගසා ඇති මොහොතක , නිදහස් ජීවිතයක් අහිමි වූ මිනිසුන් පරිභෝජන භාණ්ඩවල වහලුන් වී සත්වයින් සේ දිවි ගෙවන අඳුරු කාල පරිඡේදයක, ආදරය විවාහය මව්පිය සබඳතා ආදී සියළු මිනිස්කම් මුදලට විකිණෙන, මිනීමැරුම්, ප්‍රචන්ඩත්වය සාමාන්‍යකරණය වූ, නිදිවැදුනු නරුම සමාජයේ සමස්ත පිරිහීම සරසවි තුලටද පිවිසීම නොවැලැක්විය හැකි මට්ටමින් ත්‍රීව වී තිබේ. අන්කවරදාකටත් වඩා  බරපතල සුවිසල් සංකීර්ණ කාර්‍ය්භාර්‍යක් සිසු ක්‍රියාකාරිකයින් හමුවේ පෙල ගැසෙමින් තිබෙන බැව් නම් වඩාත් අවධාරණයෙන් කිව හැකිය.එසේම අධ්‍යාපනය තවදුරටත් අයිතියක් නොව හුදෙක් වරප්‍රසාද ලත් වුන්ගේ වෙළඳ භාණ්ඩයක් බවට පත්වෙමින් රාජ්‍ය සරසවි උපාධිය පවා විකුණමින් ,මෙරට දුක්විඳින ජනතාව අවසාන සතය දක්වා ආසවනය කොට සූරාකමින් ඇති යුගයක ත්‍රිමාලා වෙනුරලා වැනි දැවැන්ත පෞරුෂයන් තව තවත් ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් ලෙසින් ඉස්මතුවීම ප්‍රභල සමාජ අවශ්‍යතාවයක් සේ දළුලමින් තිබේ.
  
 -රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

Sunday, April 14, 2013

සිහිනයක අග ...


















අත වනන සුලඟකට හාදු එක එක තියා
වසන්තයෙ එරබදුත් පිපෙනවා ඔබ එයි කියා ...
අරුණෝද මිහිදුමෙහි සුසුම් උණුසුම තියා
   
නොඑන ඔබ දිලෙනවා ඈත තරුවක් වෙලා ....

නිවී නිවී යලි දිලෙන දෑස් අග නැවතිලා
හෙමි හෙමින් ඔබේ දෙතොල් පෙති අතර මුව තියා ...
උණුසුමෙහි ගෙවුනු යුග මතක සැමරුම් වෙලා
 

ගලා එන කඳුළු බිඳකින් මගේ ඇස් බොඳවෙලා ....

-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

Sunday, March 31, 2013

සැඳෑවක සටහන්-ඇයට ලියමි



                       







                               
                                                        වසන්තය පසුකර එන මේ සුලඟෙහි පැහැයක් නැත. එහෙත් මිහිරිය, එක් මලක් හෝ තිලිණ දුන් සුවඳ සිහිවටන සේ එහි තිබෙනු මට දැනෙයි. දිය කඩිති විල්ගොමු අතරින් සිපගත් වස්සානයේ සැමරුම් එහි තවමත් හරිම නැවුම්ය. සිහිලස්ය. කටුක ගිම්හානයේ පවා මම ඉන් වසන්තය ලබමි. හරි හැටි පැහැයක් දෙන්නට නොලැබුණු අපේ මතකයනුත්  මේ සුලඟ වාගේම යැයි විටෙක මට සිතේ. වෙනසකට ඇත්තේ වසන්තය සමග එහි ගසාගෙන ගොසින් ඇත්තේ අහිමිවුන අපගේ ජීවිතයයි. තාරුණ්‍යයයි. එහෙත් එහි සදාතනික ආදරණීය ස්වරය තවමත් මා හදවතෙහි සුසර වෙමින් ඇත. දැනුදු ඔබේ සිනා හඬ සිහිනයක මෙන් මට ඇසෙයි.
                            ඒ මාර්තුවේදී සොඳුරු සරසවි බිම පුරා මලකඳන් විසිරී තිබිණ. ධවල භීෂණය හමුවේ  මගේ මිතුරන් එකිනෙකා ඝාතනය වෙද්දීත් යටත් නොවූ අප මානව නිදහස උදෙසා තවදුරටත් පෑන මෙහෙයවූවෙමු. ජීවිතය පිලිබඳ අවසාන බලාපොරොත්තුවද අතහැර සිදුවීම් එකින් එක ලෝක ප්‍රජාව  වෙත වාර්තා කරමින් සිටි මම එක්වරම විදේශගත වූයේ  දිගින් දිගටම පණිවුඩ එවමින් ඔබ ආයාචනා කල හෙයිනි. අරුණෝදයෙහි හැලෙමින් තිබුණු රොබරෝසියා මලින් වැසුණු මිතුරන්ගේ මෘත දේහ අතර හෘද සාක්ෂිය සඟවා, ඔබගේ සුරත වෙනුවෙන් පෑන අතහරින්නට මට සිදුවිය.
                     වසර දහසයකට පසුව ඔබ නැවත අහම්බෙන් මුණ ගැසෙද්දී මම අභ්‍යන්තර මාධ්‍යවේදියකු වශයෙන් සේවය කරමින් සිටියෙමි. වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළබවත් විවාපත්ව දරුවන් සමඟ නැගෙනහිර යුරෝපයේ ඔබ ජීවත්වන බවත් දැන සිටියද මම කිසිවිටෙකත් ඔබගේ සාමකාමි ලෝකයට බාධා නොකළෙමි. වසර ගණණාවකට පසුවත් උතුරා යන ආදරයෙන් ඔබගේ දිලිසෙන ඇස් කඩා හැලෙන කඳුළු අතරින් සිත්තම් කල නොවෙනස් සෙනෙහස, එක් වන්නට නොලැබුණද අප සදාතනික ආදරවන්තයින් බව ලොවට හඬගා කියන්නාක් වැන්න. ඒ මොහොතේ මහත් වූ කම්පනයට පත්ව සිටි අප දෙදෙනාටම එකඳු වචනයක් හෝ තෙපලන්නට තරම් ධෛර්යයක් නොමැතිවීම ගැන විටෙක සියුම් කණගාටුවක් ද සිතේ. ඔබට සුභ පතන්නට හෝ මට නොහැකි විය. එහෙත් මේ ආදර කථාව තවදුරටත් ලොවට රහසක්ව අතීතයේ සැඟවිය යුතු බව මගේ අදහසයි. මන්ද මෙතෙක් දුර ආ ජීවන ගමන් මඟෙහි ඉතිරිය නියමිත යුරින් සම්පූර්ණ කිරීමට  සියල්ලන් වෙනුවෙන් ඔබට වගකීමක් ඇත.
                 මේ සටහන ලියමින් ඇති මේ මොහොතේ රාත්‍රිය උදාවෙමින් ඇත. මගේ නවාතැන ඉදිරියෙන් සන්සුන්ව ගලායන නදියක් වෙයි. සඳෙහි ඡායාව එහි ජලතලය මත විසිතුරුව ඇඳී තිබෙණු කවුළුව තුලින් මට පෙනෙයි. කෙතරම් දුර ඈත අහසෙහි පායා තිබුණද ගං දියෙහි වන ඡායාව නිසා සඳ මට වඩාත් සමීපව ඇතැයි වැනි හැඟීමක් මසිතෙහි ඇතිවෙයි. එවිට මට ඔබ මතක් වේ.කෙතරම් දුරින් සිටියද පින්තාරු වී විසිරෙන මතක සුලඟෙහි කැඩපත් ඉදිරියෙහි ඔබ මා සමඟම මගේ ළඟින්ම සිටින්නාක් මෙන් මට දැනෙයි.මේ සටහනෙහි අවසානයක් පිලිබඳව මට සිතාගත නොහැක. වසර ගණණාවක් පුරා කියාගන්නට නොහැකිව සිතෙහි සිරවී තිබුණු දහසකුත් දෑ  ඡේද ලෙසින් පෙලගස්වන්නට මට ශක්තියක් නැත.  අප දෙදෙනා කලාගාරයෙහිදී අවසාන වශයෙන් නැරඹූ පරසතු මල් චිත්‍රපටයෙහි ගීත ඛණ්ඩයක් මෙම සටහනෙහිද  අවසානයට එක් කරන්නට මට සිතේ.
 

"බටහිර අහසේ රතු සිත්තම් මැකුණාවේ -  දෙනිපත අඩනහිරියා මල් පිපුණාවේ
මා ආදරය දුටු බව නොම හැඟුණාවේ-මා නැති කලෙක උන් සුවඳක් දැණුනාවේ.

                                                                                                                                                              
-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

Tuesday, February 26, 2013

එක දවසක . . සවසක . . .

                          

                                                   












                         ගංදියට එබෙන සඳ ඉඟි කරන නිහඬ රැය නිශාවේ අන්තයට උදාවෙමින් තිබිණ.දුහුල් වලා රොදකින් මුවාවුණ සඳ යන්තමින් කිරණ විහිදුවද්දී බටහිර අහසේ දිස්වූ එකම තනි තරුවත් වළා අතර සැඟව ගොස් අපැහැදිලිව ඇත. ළඟ ළඟම එන වැහිකෝඩයට අත වනන මහවැලිය වෙනදා මෙන්ම සන්සුන්ව ගලා යයි. හන්තාන අද්දරින් හමාඑන නැවුම් සුලඟේ සිහිලස ගත දැවටෙද්දී ඈස් පියාගන්නට සිතේ.
                                පස්වරුවේ ශිෂ්‍ය සංගමය රැස් වන්නට මත්තෙන් මොහොතක් හෝ අක්බාර්  පාලම මත හුදකලාව ගතකිරීම දැන් දැන් පුරුද්දක්ව ගොස් ඇත.සියුම්ව දිගහැරෙන ජීවිතයේ සුස්මනය අඩි ශබ්දය හදවතට වඩාත් සමීපව දැනෙන්නේ සිතිවිලි අතර තනිවන මෙවන් විටකදී පමණි.
                    කලෙක පටන් සියුම් වේදනාවකින් පිරී යමින් ඇති මසිත නොසන්සුන්ව ඇතත් ඒ අතරින් මම සෑමවිටම සිනාසෙන්නට වෙරදරමි.නිදහසේ ගලාගිය සැහැල්ලු ජීවිතය අතීත නටබුන් අතර ආදරණිය සිහිවටන ඉතිරිකර සැඟව ගියාක් වැන්න. මඟ හැරීම් , අහිමි වීම් , වැරදීම් සියල්ල මා සතු දේවල් මිසක කිසිවෙකුත් ඊට හේතු ලෙසින් මට නොපෙනෙයි.
       සෙමි සෙමින් හිරිකඩ සිපගනිද්දී මුහුණ දෑතින්ම අල්ලා ඇඟිලිකරු අතරින් ක්ශිතිජය බැලුවද හාත්පස අඳුර එහි ලස්සන ගිලගෙන ඇත. ඉඳහිට ගෙම්බකු අත්වැල සපයන රැහැයියන්ගේ අඬහැරය ඈතින් දුක් ගීයක් මෙන් ඇසෙයි.වසර අවසාන කෙටි නිවාඩුවට සිසුන්ගෙන් හිස් වූ සරසවිය පාළුවට ගොස් ඇත.අතරින් පතර විසිරුණු පින්තාරු වන මතකයන් එකින් එක ලියැවෙන ගිම්හාන අන්දරයෙහි මඟ හැරුණු වසන්ත පරිච්ඡේදය හිස්තැනක් සේ තවමත් අනාගතයට ඉතිරිව ඇත.
                        වූස් කැන්ටිමේ නිතර ගැවසෙන මේ බලුතඩියා කළුවරකදී වුවද මට හඳුනාගත හැකිය.පාලම මතින් කොහේ හෝ යන්නට පැමිණි ඌ මා දැක නතරවන්නට ඇත. මෙහිදී හමුවූ බල්ලන් අතුරින් වැඩියෙන්ම මා සිත්ගත්තේ මාකස් ශාලවේ බ්‍රවුනා ය. බෝඩිමේ නවාතැනට  පැමිණියාට පසුවත් කිහිප විටක්ම මාකස් ගිය  මට නැවත බ්‍රවුනා මුණගැසුනේ නැත.
             දේශපාලනික කරුණු කාරණා ඇතුළු මේ මොහොතේ ශිෂ්‍යයාගේ භූමිකාව සංවාදයට නංවන ශිෂ්‍ය සංගමයට සහභාගී වීම කෙරෙහි මා තුල ඇත්තේ දැඩි උනන්දුවකි. සියලු පීඨ නියෝජනය කරමින් පැමිණෙන සිසුන් පැය කිහිපයකට හෝ මුණ ගැසීම මට මහත් සතුටක් ගෙන දෙන්නකි. ඉතිරි මිනිත්තු කිහිපයද නික්ම යන්නට මත්තෙන් මා එහි යා යුතුය. ජීවිතයේ අවසාන ආලොකය සොයන මෙරුන් සනාතන මන්දිරයේ විදුලි පහන් වටා රොද බැඳගෙන ඇත. වැහි අඳුරේ සෙවනැලි මකමින් වළාකුළු අතරින් නැවතත් සඳෙහි සේයාව පැහැදිලිව පෙනේ. මීට පෙරද මා හොඳින් අත් දැක ඇති අයුරින් පේරාදෙණියේ අහස නම් කිසිදා විශ්වාස කල නොහැක. 


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
 

Saturday, February 9, 2013

අනියම්.. ඇරයුම්..















සිහිලාරේ උණුසුම්ව සැඟවෙන්න දැවටෙන්න..
ඔබ මාගේ රහසක්ව විඳගන්න සිපගන්න...
ඇය වාගේ කුළුඳුල්ව සැතපෙන්න රොන්ගන්න..
නිල්දෑසේ කඳුලක්ව ගිලිහෙන්න ඉඩදෙන්න...


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-


හෙට උදෙන්ම අවදිවන්න..





පිණිකැට පියළි විසිරී පය ගැටෙනු දැනේ..
මයිනක ගයති කවිගී හඬ දැනුදු ඇසේ...
හනිකට ලඳුනි පිබිදී ලොව දකිනු මෙසේ..
අරුණට සුවැති සමවී මම ලියනු කෙසේ....


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
 

මිතුරියකි ඔබ



හිනැහෙන සඳ අතර තරුවකි නුඹ ගිම්හානේ..
සුවඳෙන මන බඳින කුසුමය ඇය වස්සානේ...
කිමිදෙන රස සයුර රහසකි එම ලොවමාගේ..
ඉනුමැන සුභ සදන මිතුරිය ලෙස පෙරවාගේ...


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

ඇය නැතිව ඇය එක්ක..

















සියක් මංපෙත් සුපුෂ්පිත වී - සුවඳ සීතල රැය නිමෙයි
අදත් සඳකැන් හැඟුම්බර වී - මතක පාකර සිත පෙලයි
පෙළක් සියොතුන් දුකින් නද දී - කොහිද ආදර ඇය අසයි
තවත් කඳුලක් නෙතින් ගිලි හී - සිතුම් සාගර රළ නඟයි


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

Saturday, February 2, 2013

ගැමි අරුණක අම්මා . . .




















පිපි මහනෙල් මල් සුවඳකි මඳ නල හා මුසුවන්නේ. .
සුව සිහිලැල් පිනි වැස්සකි ගම්දොර පා පිසලන්නේ. . .
රිවි අරුණැල් රැඳි අහසකි දස අත රෑ දුරලන්නේ. .
මුව හසරැල් පිපි උදයකි පින්සර ඈ සරසන්නේ. .  .    

-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
 

නිහඬවම.. . .




















පෙති කඩා විසුරුවා.. පිටු අතර සරසන්න
මලක් වෙමි අතරමඟ.. අතුපතර මත රැඳුන..
සිතුනහොත් යම් දිනෙක.. මතක පොත පෙරළන්න
සැඟවිලා ඇති සුවඳ... නොවෙනස්ම සෙනෙහසක... 


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

ලේබල්.....




















වෙඩිහඬ ඇසී හදවත් නිහඬව හඬන
ඔබ අපි වෙසෙන ගම් නොව මායිම් ගමක
සොඳුරුම සෙනෙහෙ සිත්තම් රුසිරුව ඔපන
යුවළක් එක්වෙලා ඇරඹුවා යුග දිවිගමන..

අගපිපි මල් වුවත් සෙනෙහෙන් ඔදවැඩුණ
බිය සැක ඇතිව ගෙවුනා දින සති මාස
මව්පිය දෙදෙන තුටු කඳුළක ගිල්වමින
පැතුමක තිළිණ විය බිළිඳුගේ කිරිසුවඳ..

මව බොදු කතකි කතෝළිකය පියා
සිනාසලන පොඩිපුතු හට ආගම් නැත බෙදා
වෙඩි උණ්ඩයට බියවුන මුත් ඔවුන් එදා
පන්සල්, පල්ලි බැතිසිත් පෙරදැරිව ගියා..

කොඳ මල් පිපී දෙවටේ සුවඳින් ලපළු
තල් අරණට ඉහළින් සඳරැස් මුකුළු
සුවදෙන සෙනෙහෙ මිහිරෙන් හදවත් පිබිදූ
කාලය ගෙවී දිනයක් ඇවිදින් නොසිතූ..

ත්‍රස්ත මරුන් ගම් වැදිලා හොර රහසේ
දැන් ඇහෙනවා ළඟ ළඟ එන වෙඩි සද්දේ
මව හඬ හඬා පොඩි පුතු ඇකයට ගත්තේ
පියතුම කිව් පරිදි ලන්දට ගොස් සැඟවූයේ..

ඈ ගත රුහිරු පෙරදා කිරි කර සෙනෙහෙන්
පොවමින් දැඩි කළා පුතු ආදර සයුර තරම්
එයටම නොදෙවනිය පියතුමගේ වරුණ නිතින්
සඟවාලූවේ මරුගෙන් පුතු ගලවාගනු අටියෙන්..

අළුයම පහන් වී පසුදින හිරු නැගෙන පැයේ
ලේ විල් රක්ත පැහැයෙන් ඇත ගම් පියසේ
මව හා පියා වෙඩි වැද ඇත මැදසාලේ
පුතු තනිවෙලා කෙළෙසෙද දුක පවසන්නේ..

රණවිරු කැළම ඇවිදින් එඩියෙන් පියඹා
ත්‍රස්ත මරුන් වනසයි දිවියද නොතකා
සෙබළුන් ලන්ද අවටින් යනවිට කළඹා
ඉකිගසා හඬන පුතුගේ කඳුළැලි දුටුවා..

දෝතට රැගෙන මල් වැනි මේ පුන්චි පුතා
සෙබළ කතක් දිවගියා රතුකුරුසෙ කරා
එහිදී රජයේ නීතිය හොඳහැටි විමසා
දරුනැති දෙමළ මවකට පුතු භාරකලා..


 උදාරතර මනුෂ්‍යත්වය හමුවේ ජාති ආගම් ගෝත්‍ර ආදි සමාජමය බෙදීම් වලට කිසිඳු වටිනාකමක් නොමැත.  

 -රොෂාන් නයනජිත් හේවාවිතාරණ-


Wednesday, January 30, 2013

බ්ලොග්කාරී . . .
















සඳවත සඟවා වෙන නමකින් හිඳ
සුනිල සිතුම් සෙවනැලි ගෙත්තම් කර
මුතුකළ ඔබෙ ඔය බ්ලොගය පුරා මම
රහසෙම සැරුවෙමි..................
විනිවිද නුඹේ සිත දැනෙන තුරාවට

සිතිවිලි සයුරේ රුවල මුදාහැර
දේදුණු අහසේ දෑස පියාගෙන
පාවෙන, ඉගිලෙන ලොවට වෙලා මම
දැන්-තව හිනැහෙමි............
ස්වර තත් වැයෙනා සොඳුරු සැඳෑවක

සෙනෙහෙ සිහින හැඟුමන් දෝතට ගෙන
සඳ දිය ගඟුලේ මුසුකර තනිවම
මිහිඳුම් අහසේ වළා වියන් අග
රඳවා ඉවසමි.............
ඒ වැසි දහරේ තෙමෙන තුරා නුඹ


 -රොෂාන් නයනජිත් හේවාවිතාරණ-


සසර ඔසු . . .

















රැළි රැඳි සයුරු තෙර නොපෙනෙන තටාකෙක. . .
බිඳි සිඳි නැඟෙන පෙණ පිඬුලෙස දරාගෙන . .
රිවි සැරි සරණ ලොව සරතැස නිවාගෙන. . .
එමි යමි සසර තව බුදුබණ පතාගෙන . .

-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-


Friday, January 18, 2013

හෙටවත් එන්න පුළුවන් ද .. . .




















සැලෙන තුරුපත් අළුත් දළු දැක සිනාසී සුභ පතන අලුයම. .
රුවැති කුසුමන් පිපෙන සුවඳට මුවා වී හිරු නැගෙන ලස්සන . .
කියන රහසක රැඳෙන නෙත් යුග සොයාවී නුඹ හෙටත් හෙමිහිට. .
ලියන කවිපද අතර සැඟවෙන ප්‍රියාවී හෙට එන්න තනිවම. .  .   ;)


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

Thursday, January 17, 2013

ඇයට.. . .
















සුවහස් තිළිණ මල් කලඹක සුවඳ ගෙන..
නිදහස් හරිත විල් ගොමුවක පිපුණු මල..
සඳරැස් බරිත නිල් අහසක සොඳුරු වුන.. .
සෙනෙහස් හොවන සිත් දහසක පැතුම නුඹ.. .  .

 -රොෂාන් නයනජිත් හේවාවිතාරණ-


Monday, January 14, 2013

ආරාධනා . . .

























දේදුණු සඟවා සිහිනෙක . . . සුසුමක තැවරූ සඳවත . . .
මහවැලියේ නිල් දියවර අතර පෙනෙනවා . . . .
සෙවනැලි අතුරා එකිනෙක . . . සීතල රෑ මිහිදුම් මැද . . .
හන්තානම බලා ඉඳන් සුවඳ සොයනවා . . . .

දළුලන හිම වසන්තයක . . . සමනල් තටුවක නැoවුන
ඉඳුනිල් නෙත කඳුළු මතක අතර දිලෙනවා . . . .
මල්පෙති විසිරුණු සුලඟට . . . සඳකැන් තවරා හෙමිහිට . . .
සරසවි බිම සැරසීගෙන අපව සොයනවා . . .


 -රොෂාන් නයනජිත් හේවාවිතාරණ-


Saturday, January 12, 2013

ඔබ දන්නවනම් . . .





















තරු දහසක් මැද ඔබ සඳවී සිනහ සලා ..
මල් පිපිලා සිත ලඟ සුවඳක් හමලා ..
දැල්වෙන හැඟුම් ගොළුවී සුලඟක එතිලා ..
රහසෙම නිමෙයි සුසුමක උණුසුම තියලා .. . 


 -රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

Tuesday, January 8, 2013

මිහිරිය .. .















විල් තෙර සුලඟ සිහිලෙන් ගත නැහැවෙද්දී..
කඩුපුල් සුවඳ පියුමන් තව සුපිපෙද්දී..
සිතුවම් මවන සඳකැන් රැය නළවද්දී..
සැමරුම් මතක සුවඳයි ඇය සිහිවෙද්දී. .  .


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

රහසින්. . .





















වල ගැහෙන දෙකම්මුල් සිනිඳු සුරතේ රුවා..
හද රැදෙන සුවඳමල් පිනිඳු පහසේ දොවා..
පිස හමන පවන්-රැල් බිඳඳු සහනේ හොවා..
ඇය ගෙනෙන සිතුම්විල් පිබිදු රහසේ නුරා
.. .

-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
 

Monday, January 7, 2013

සුගත් ගේ කවිය . .





















ඔබ වන් දුවක ලද මව්පියො නිවුනා වේ..
බැතිබර සෙනෙහෙ සිතුවම් රූ ඇඳුනා වේ..
නිති ඔහු සමග යන මග මල් පිපුණා වේ..
ජීවන සුවඳ නුඹ මගෙ මතකයෙ රැඳුණා වේ..
.


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

Sunday, January 6, 2013

සඳ මතක . .



පළා පැහැ අතු රිකිළි අග දිලිසෙන
මල් පියලි පිනි බිoදු සිහිලස සදන සවසක
සිනාසෙන සරත්
සඳ දුටුවා මම
ඒත් ඒ ඔබ නික්ම යන්නට පලමුව. . .


අදත් මම සැඳෑවට ඇවිද යමි සරසවියෙ ඉඳහිට
පායා ඇතත්
සඳ එදා මෙන් වසාගෙන හන්තාන 

නොගිලිහුණ කඳුලක් ඇති නිසා තවම ඇස් අග
අනෝරා වැසි වට කලෙක මෙන් බොඳව ඇත
සඳ
මට. .
හැමදාම. . . .


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-


Saturday, January 5, 2013

වන්දනා . . .













මඳමුදු සුළඟ සිහිලස සුව සුවඳගෙන
අරුණළු මිහිරි සුනිමල පිනි පහසලැබ
ලොව්තුරු නිමල මුණිරජ කුටි වෙහෙරවෙත
පියමැන හඟිමි දෙනයන දිටි සසරදුක. . .

 -රොෂාන් නයනජිත් හේවාවිතාරණ-