Wednesday, December 3, 2014

දෙසැම්බරයක කවි....





















ලදළු පත් නැළවෙනා මුදු සුලඟකිනි
සුවඳ සුදු අරවින්ද පිපි ලෙසිනි
නිලන තුරු සිරසි මත සඳ පිරුණි
ඔබෙ නයන දිගු බැල්ම සිත ඇඳුණි...

ළයාදර සිහින අග රැඳි සුසුම්වැනි
අහිංසක සඳ මුහුණ වදනක සිනාසුණි
දයාබර සිතුවමක පැහැ ගෙන මල් සැළුණි
සෙනෙහෙබර දෙසැම්බරයක තව කවි පිපුණී...


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

Tuesday, December 2, 2014

ත්‍රිමා...



















සැලෙන සෙලවෙන සිත් දරාගෙන
සටන් පෙරමුණු වුනි මලානික
එකම සිහිනෙක ජයම පත පත
ත්‍රිමා ඔබ විය රතු පියාපත...

දැවෙන දැල්වෙන අඳුරු යුගයක
ටයර් සෑ දුම් නැහැය හකුළන
සටන් සගයින් මියෙන විට තව
සටන සියතට ගත් පහන විය  නුඹ...

පෙනෙන නොපෙනෙන ජයක පෙරමඟ
කුරිරු වධයක උපරිමය විඳ
දිවිය අතහැර ගියද මිලිනව
නොමල මිනිසා නුඹයි බබලන...

පිපෙන හිනැහෙන අළුත් මල් වල
සුවඳ කොයිබද ගියේ අතහැර
මියෙන උපදින බොහෝ දිනවල
ඔබෙ රුහිරු ඇත සැඳෑ අහසක...

නැඟෙන පිබිදෙන යෝධ පෙම ලඟ
තිළිණ කළ මේ සෙවණ "ඉගෙනුම"
නිමා නොවුනත් ධවල භීෂණ
ත්‍රිමා එනවද සටන් බිම වෙත?..

  
-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-


Sunday, November 30, 2014

දෙසැම්බරයක..




















තුහින පිණි පා දොවන දෙසැම්බර් අහස යට
දීර්ඝම දවස් ඇත සඳත් හෙමිහිට නිවෙන..

නිදිබරම තුරු කිණිති නිසොල්මන් සෙවනැලි සදන
රැය ගෙවෙයි, බලා ඉමි ඔන්ලයින් එයිදැයි සොඳුර..

පහන් තරු මග හැරුණු ජීවිතේ අඳුර ලඟ
සහන් එළි දල්වමින් ඔබ හිඳියි බොහෝදුර..

ඉඳහිටක හමාඑන මඳනලක මල් සුවඳ මුසුකර
ආස කවියක් පා කරමි ඔබව සිපගනු පිණිස..

සිතින් මම මවාගෙන ඔබේ රුව ගුණ වරුණ
අහිංසක සිනහවක දිගහරිමි  ජීවිතය..

මිහිදුමට තුරුළුවී අඳුරු වෙයි මුළු හන්තාන
වැහි වලා නිවායයි ඔබ නොමැති සඳපාන..

කවිපොතෙහි කවි අතර වසත් මල්  සුපිපෙන්න
එක් වරක් හෝ ඇවිත් දැකගන්න ඉඩදෙන්න..

ඉවසමින් දකින හැම නෙතක ඇඳි පෙම් සිහින
සරසවිය වෙත එන්න මගේ හදවත රැගෙන..


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

Monday, November 24, 2014

ප්‍රාර්ථනාවක සිසිරය...



















ගිනිදැල් පවා මෘදුව දැල්වෙන පහනක
මලානික එළියෙහි සැලෙන සෙවනැලි අතර
අඩක් ලියැවුණු කවියක් දෙකක් තුරුළු කරගෙන
සිසිරයෙහි රාත්‍රිය යළි යළිත් නිමාවිය...

තෙතබරිත අහස්කුස සෙමින් සුසුමන් සලන
පත් සිඳුණු තුරු පවා මතක උණුසුම සොයන

තබා ගිය සළකුණුත් හිම වලින් මැකී යන
සිසිරයෙහි හිමිදිරිය යළි යළිත් උදාවිය...

එහෙත් සුහදිනිය..,


දැක නැතත් ඔබේ ඔය පුංචි ඇස් පියවි ලෙස
වසන්තය ගෙන එතැයි බොහෝ විට මට සිතිණ....


 -රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

Tuesday, November 18, 2014

රහසකට රහසින්....

















හේමන්ත උයන වෙත සුළඟ හෙමිහිට එන්න
විලෝ තුරු හෙවණ යට මල් කිණිති අතුරන්න

දුක දැකපු දෑසකින් ජීවිතේ දැකගන්න
සුළඟ ඔබ නොකියන්න විඳගන්න ඉඩදෙන්න...

කදෝකිමි එළි අතර නිවෙන තරු දිදුලන්න

වැහිවලා සේද සළු සෙමින් ඉවතට යන්න
ඇදවැටුණ මිනිසකුගේ ආදරය දල්වන්න
නොවැම්බර් සුසුමකට උණුසුමින් ලංවෙන්න...

සඳඑලියෙ නැහැවෙමින් සෙනෙහසින් සැනහෙන්න
වසන්තය හමා එන සිහිනයෙහි නවතින්න
දුක පිරුණු සිනහවක සොඳුරු බව වැටහෙන්න

කවියකට තුරුළු වී හාදු එක එක දෙන්න...

විලෝ තුරු පත් සැලෙන සිලිසිලියෙ තනිවෙන්න
හිතන්නට බොහෝ ඇති තවත්
දේ දැනගන්න
මතකයන් විතරමද ජීවිතයෙ අස්වැන්න
 
ආදරය මුණගැහෙන කවිපොතම ඔබ වෙන්න...
 

උයන වෙත ඔබ එන්න....

-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-


Monday, May 19, 2014

සිරිපොදක ..


















කළු වලා සේද සළු අතුරමින් විටින් විට. . .
වගුරුවයි සිහිල් පොද වසන්තයෙ ඇරඹුමට. .
දළු දමා තුරු ලතා ඇහැරෙනා සෙනෙහසට. .
හිරු එබෙයි හෙට උදේ මල් පිපෙන උණුසුමක. . .


 -රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

Saturday, May 10, 2014

වස්සානය....















එක් මලක් හෝ නොපිපි ගිම්හාන කාලයක
තුරුලතා පණපොවා අලුත් දළු ඇහැරවන
නිලන නිල් වසන්තය හරිත පැහැයෙන් ඇන්ද
මේ ඒ වස්සානයමයි මතකයිද ස්නේහය...

බොරැල්ල සුසානයේ ශ්වේත උස චිතකවල
ප්‍රතාපවත් මිනිසුන් දැවෙන කළු සැඳෑවල
මතක අළු පොඟවා තිලිණ සේ පසට දුන්
මේ ඒ වස්සානයමයි මට මතක විදියට..

අම්මගේ අතේ එල්ලී යනෙන විට කුඩාකල
අනෝරා ඇදහැලී අහස ගුගුරන විටෙක 
මා නොතෙමෙන්නට මුවාකොට සාරියෙන් සඟවාගත්
අම්මාව තෙමූ නපුරු වස්සානයමයි මතක විදියට...

විභාගය අවසන්ව ඉකුත් දින කිහිපෙකට පෙර 
යහළුවන් සමඟ ජෙනිස් කන්දෙහි නඟින විට
කුණාටුව සේ අවුත් සියළුදෙන තෙත බරිත කල
මේ ඒ වස්සානයමයි මතකයිද විනෝදය...

සරසවිය පාළුවට ගිය නිහඬ එක් සැඳෑවක
රොබරෝසි මල් මතින් තුරුළු වී ඇවිදගිය දිනෙක
සීතලම සිරිපොදක ඔබෙ කොපුළ රස බැලූ
මතකයන් තරමටම උණුසුම්ද වස්සානය...

-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

Friday, May 9, 2014

සවන්දෙන්න.. හදවතින්...


















සුහදිණිය
ඔබ කියූ වදනක දෙකක
මම ජීවිතය
ලියූවෙමි..

ඔබේ එක් නෙත් සැරයක
අහම්බෙන් හෝ මදෙස බැලූ ඇසිල්ලෙක
මතක මල් පිපී
වසන්තය ඇහැරවන බවක් 
මට දැණිනි..

සඳ කිණිති හැමදාමත්
ඔබේ සුදු මුහුණ
වසාගෙන තිබුණි..

කැන්ටිමේ මේසයක
ඔබ දකින හැම අරුණෝදයකම
දේදුණු සිහිනයක පාට අතර
ජීවිතය අතරමන් වන බවක් 
මට හැඟුණි...

සිතින් තනිවන හැම මොහොතකම
මට ඔබව මතක් විය...

සිරිපොද වැසි සරසවිය සිප ගනිද්දීත්
දෑල දිග රොබරෝසි රැළි අතර දඟකරද්දීත්
සිහිලාර මිහිදුමක හන්තාන සැඟව යද්දීත්
කොහේදෝ සිට හමාඑන මල් සුවඳක
ඔබ මා සමග 
දොඩමලු වන බවක් මට දැණිනි...

එක් කලෙක ඔබව බලන්නම
මම ලෙක්චර්ස් ආ දවස් තිබුණි
ලැප්ටොප් තිරය මත
ඔබේ පින්තූර නොබැලූ 
දවසක් ගත නොවන්නට  ඇත
ලා පැහැ සාරියට 
ඔබ හරීම හරි පියකරුය. චාම්ය...

මග තොට ඉඳහිටක
තනිව හමුවූ විටෙක
වල ගැහෙන දෙකම්මුල් පෙන්වා
ඔබ මා සමඟ සිනාසෙන විට
හාත්පස නැවතී යලි ඇරඹෙනු මට දැනෙයි..

මෙම රොබරෝසි පෝස්ටුව
ඔබ කියවන්නටද ඉඩ ඇත
මෙහි පදපේලි අතරේ සැඟව ඇත්තේ ඔබම බව
ඇතැම්විට ඔබට නිශ්චිත නොවනු ඇත..

එහෙත් සුහදිණිය..

ඔබට දෙන්නට දවසක
තවමත් ලියාගත නොහැකිවුණු
එකම එක කවියක 
තනුව මෙහි සැඟව ඇත..

එයට සවන්දෙන්න....

-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-