Monday, May 19, 2014

සිරිපොදක ..


















කළු වලා සේද සළු අතුරමින් විටින් විට. . .
වගුරුවයි සිහිල් පොද වසන්තයෙ ඇරඹුමට. .
දළු දමා තුරු ලතා ඇහැරෙනා සෙනෙහසට. .
හිරු එබෙයි හෙට උදේ මල් පිපෙන උණුසුමක. . .


 -රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

Saturday, May 10, 2014

වස්සානය....















එක් මලක් හෝ නොපිපි ගිම්හාන කාලයක
තුරුලතා පණපොවා අලුත් දළු ඇහැරවන
නිලන නිල් වසන්තය හරිත පැහැයෙන් ඇන්ද
මේ ඒ වස්සානයමයි මතකයිද ස්නේහය...

බොරැල්ල සුසානයේ ශ්වේත උස චිතකවල
ප්‍රතාපවත් මිනිසුන් දැවෙන කළු සැඳෑවල
මතක අළු පොඟවා තිලිණ සේ පසට දුන්
මේ ඒ වස්සානයමයි මට මතක විදියට..

අම්මගේ අතේ එල්ලී යනෙන විට කුඩාකල
අනෝරා ඇදහැලී අහස ගුගුරන විටෙක 
මා නොතෙමෙන්නට මුවාකොට සාරියෙන් සඟවාගත්
අම්මාව තෙමූ නපුරු වස්සානයමයි මතක විදියට...

විභාගය අවසන්ව ඉකුත් දින කිහිපෙකට පෙර 
යහළුවන් සමඟ ජෙනිස් කන්දෙහි නඟින විට
කුණාටුව සේ අවුත් සියළුදෙන තෙත බරිත කල
මේ ඒ වස්සානයමයි මතකයිද විනෝදය...

සරසවිය පාළුවට ගිය නිහඬ එක් සැඳෑවක
රොබරෝසි මල් මතින් තුරුළු වී ඇවිදගිය දිනෙක
සීතලම සිරිපොදක ඔබෙ කොපුළ රස බැලූ
මතකයන් තරමටම උණුසුම්ද වස්සානය...

-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

Friday, May 9, 2014

සවන්දෙන්න.. හදවතින්...


















සුහදිණිය
ඔබ කියූ වදනක දෙකක
මම ජීවිතය
ලියූවෙමි..

ඔබේ එක් නෙත් සැරයක
අහම්බෙන් හෝ මදෙස බැලූ ඇසිල්ලෙක
මතක මල් පිපී
වසන්තය ඇහැරවන බවක් 
මට දැණිනි..

සඳ කිණිති හැමදාමත්
ඔබේ සුදු මුහුණ
වසාගෙන තිබුණි..

කැන්ටිමේ මේසයක
ඔබ දකින හැම අරුණෝදයකම
දේදුණු සිහිනයක පාට අතර
ජීවිතය අතරමන් වන බවක් 
මට හැඟුණි...

සිතින් තනිවන හැම මොහොතකම
මට ඔබව මතක් විය...

සිරිපොද වැසි සරසවිය සිප ගනිද්දීත්
දෑල දිග රොබරෝසි රැළි අතර දඟකරද්දීත්
සිහිලාර මිහිදුමක හන්තාන සැඟව යද්දීත්
කොහේදෝ සිට හමාඑන මල් සුවඳක
ඔබ මා සමග 
දොඩමලු වන බවක් මට දැණිනි...

එක් කලෙක ඔබව බලන්නම
මම ලෙක්චර්ස් ආ දවස් තිබුණි
ලැප්ටොප් තිරය මත
ඔබේ පින්තූර නොබැලූ 
දවසක් ගත නොවන්නට  ඇත
ලා පැහැ සාරියට 
ඔබ හරීම හරි පියකරුය. චාම්ය...

මග තොට ඉඳහිටක
තනිව හමුවූ විටෙක
වල ගැහෙන දෙකම්මුල් පෙන්වා
ඔබ මා සමඟ සිනාසෙන විට
හාත්පස නැවතී යලි ඇරඹෙනු මට දැනෙයි..

මෙම රොබරෝසි පෝස්ටුව
ඔබ කියවන්නටද ඉඩ ඇත
මෙහි පදපේලි අතරේ සැඟව ඇත්තේ ඔබම බව
ඇතැම්විට ඔබට නිශ්චිත නොවනු ඇත..

එහෙත් සුහදිණිය..

ඔබට දෙන්නට දවසක
තවමත් ලියාගත නොහැකිවුණු
එකම එක කවියක 
තනුව මෙහි සැඟව ඇත..

එයට සවන්දෙන්න....

-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-