Sunday, November 30, 2014

දෙසැම්බරයක..




















තුහින පිණි පා දොවන දෙසැම්බර් අහස යට
දීර්ඝම දවස් ඇත සඳත් හෙමිහිට නිවෙන..

නිදිබරම තුරු කිණිති නිසොල්මන් සෙවනැලි සදන
රැය ගෙවෙයි, බලා ඉමි ඔන්ලයින් එයිදැයි සොඳුර..

පහන් තරු මග හැරුණු ජීවිතේ අඳුර ලඟ
සහන් එළි දල්වමින් ඔබ හිඳියි බොහෝදුර..

ඉඳහිටක හමාඑන මඳනලක මල් සුවඳ මුසුකර
ආස කවියක් පා කරමි ඔබව සිපගනු පිණිස..

සිතින් මම මවාගෙන ඔබේ රුව ගුණ වරුණ
අහිංසක සිනහවක දිගහරිමි  ජීවිතය..

මිහිදුමට තුරුළුවී අඳුරු වෙයි මුළු හන්තාන
වැහි වලා නිවායයි ඔබ නොමැති සඳපාන..

කවිපොතෙහි කවි අතර වසත් මල්  සුපිපෙන්න
එක් වරක් හෝ ඇවිත් දැකගන්න ඉඩදෙන්න..

ඉවසමින් දකින හැම නෙතක ඇඳි පෙම් සිහින
සරසවිය වෙත එන්න මගේ හදවත රැගෙන..


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

Monday, November 24, 2014

ප්‍රාර්ථනාවක සිසිරය...



















ගිනිදැල් පවා මෘදුව දැල්වෙන පහනක
මලානික එළියෙහි සැලෙන සෙවනැලි අතර
අඩක් ලියැවුණු කවියක් දෙකක් තුරුළු කරගෙන
සිසිරයෙහි රාත්‍රිය යළි යළිත් නිමාවිය...

තෙතබරිත අහස්කුස සෙමින් සුසුමන් සලන
පත් සිඳුණු තුරු පවා මතක උණුසුම සොයන

තබා ගිය සළකුණුත් හිම වලින් මැකී යන
සිසිරයෙහි හිමිදිරිය යළි යළිත් උදාවිය...

එහෙත් සුහදිනිය..,


දැක නැතත් ඔබේ ඔය පුංචි ඇස් පියවි ලෙස
වසන්තය ගෙන එතැයි බොහෝ විට මට සිතිණ....


 -රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

Tuesday, November 18, 2014

රහසකට රහසින්....

















හේමන්ත උයන වෙත සුළඟ හෙමිහිට එන්න
විලෝ තුරු හෙවණ යට මල් කිණිති අතුරන්න

දුක දැකපු දෑසකින් ජීවිතේ දැකගන්න
සුළඟ ඔබ නොකියන්න විඳගන්න ඉඩදෙන්න...

කදෝකිමි එළි අතර නිවෙන තරු දිදුලන්න

වැහිවලා සේද සළු සෙමින් ඉවතට යන්න
ඇදවැටුණ මිනිසකුගේ ආදරය දල්වන්න
නොවැම්බර් සුසුමකට උණුසුමින් ලංවෙන්න...

සඳඑලියෙ නැහැවෙමින් සෙනෙහසින් සැනහෙන්න
වසන්තය හමා එන සිහිනයෙහි නවතින්න
දුක පිරුණු සිනහවක සොඳුරු බව වැටහෙන්න

කවියකට තුරුළු වී හාදු එක එක දෙන්න...

විලෝ තුරු පත් සැලෙන සිලිසිලියෙ තනිවෙන්න
හිතන්නට බොහෝ ඇති තවත්
දේ දැනගන්න
මතකයන් විතරමද ජීවිතයෙ අස්වැන්න
 
ආදරය මුණගැහෙන කවිපොතම ඔබ වෙන්න...
 

උයන වෙත ඔබ එන්න....

-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-