Tuesday, February 26, 2013

එක දවසක . . සවසක . . .

                          

                                                   












                         ගංදියට එබෙන සඳ ඉඟි කරන නිහඬ රැය නිශාවේ අන්තයට උදාවෙමින් තිබිණ.දුහුල් වලා රොදකින් මුවාවුණ සඳ යන්තමින් කිරණ විහිදුවද්දී බටහිර අහසේ දිස්වූ එකම තනි තරුවත් වළා අතර සැඟව ගොස් අපැහැදිලිව ඇත. ළඟ ළඟම එන වැහිකෝඩයට අත වනන මහවැලිය වෙනදා මෙන්ම සන්සුන්ව ගලා යයි. හන්තාන අද්දරින් හමාඑන නැවුම් සුලඟේ සිහිලස ගත දැවටෙද්දී ඈස් පියාගන්නට සිතේ.
                                පස්වරුවේ ශිෂ්‍ය සංගමය රැස් වන්නට මත්තෙන් මොහොතක් හෝ අක්බාර්  පාලම මත හුදකලාව ගතකිරීම දැන් දැන් පුරුද්දක්ව ගොස් ඇත.සියුම්ව දිගහැරෙන ජීවිතයේ සුස්මනය අඩි ශබ්දය හදවතට වඩාත් සමීපව දැනෙන්නේ සිතිවිලි අතර තනිවන මෙවන් විටකදී පමණි.
                    කලෙක පටන් සියුම් වේදනාවකින් පිරී යමින් ඇති මසිත නොසන්සුන්ව ඇතත් ඒ අතරින් මම සෑමවිටම සිනාසෙන්නට වෙරදරමි.නිදහසේ ගලාගිය සැහැල්ලු ජීවිතය අතීත නටබුන් අතර ආදරණිය සිහිවටන ඉතිරිකර සැඟව ගියාක් වැන්න. මඟ හැරීම් , අහිමි වීම් , වැරදීම් සියල්ල මා සතු දේවල් මිසක කිසිවෙකුත් ඊට හේතු ලෙසින් මට නොපෙනෙයි.
       සෙමි සෙමින් හිරිකඩ සිපගනිද්දී මුහුණ දෑතින්ම අල්ලා ඇඟිලිකරු අතරින් ක්ශිතිජය බැලුවද හාත්පස අඳුර එහි ලස්සන ගිලගෙන ඇත. ඉඳහිට ගෙම්බකු අත්වැල සපයන රැහැයියන්ගේ අඬහැරය ඈතින් දුක් ගීයක් මෙන් ඇසෙයි.වසර අවසාන කෙටි නිවාඩුවට සිසුන්ගෙන් හිස් වූ සරසවිය පාළුවට ගොස් ඇත.අතරින් පතර විසිරුණු පින්තාරු වන මතකයන් එකින් එක ලියැවෙන ගිම්හාන අන්දරයෙහි මඟ හැරුණු වසන්ත පරිච්ඡේදය හිස්තැනක් සේ තවමත් අනාගතයට ඉතිරිව ඇත.
                        වූස් කැන්ටිමේ නිතර ගැවසෙන මේ බලුතඩියා කළුවරකදී වුවද මට හඳුනාගත හැකිය.පාලම මතින් කොහේ හෝ යන්නට පැමිණි ඌ මා දැක නතරවන්නට ඇත. මෙහිදී හමුවූ බල්ලන් අතුරින් වැඩියෙන්ම මා සිත්ගත්තේ මාකස් ශාලවේ බ්‍රවුනා ය. බෝඩිමේ නවාතැනට  පැමිණියාට පසුවත් කිහිප විටක්ම මාකස් ගිය  මට නැවත බ්‍රවුනා මුණගැසුනේ නැත.
             දේශපාලනික කරුණු කාරණා ඇතුළු මේ මොහොතේ ශිෂ්‍යයාගේ භූමිකාව සංවාදයට නංවන ශිෂ්‍ය සංගමයට සහභාගී වීම කෙරෙහි මා තුල ඇත්තේ දැඩි උනන්දුවකි. සියලු පීඨ නියෝජනය කරමින් පැමිණෙන සිසුන් පැය කිහිපයකට හෝ මුණ ගැසීම මට මහත් සතුටක් ගෙන දෙන්නකි. ඉතිරි මිනිත්තු කිහිපයද නික්ම යන්නට මත්තෙන් මා එහි යා යුතුය. ජීවිතයේ අවසාන ආලොකය සොයන මෙරුන් සනාතන මන්දිරයේ විදුලි පහන් වටා රොද බැඳගෙන ඇත. වැහි අඳුරේ සෙවනැලි මකමින් වළාකුළු අතරින් නැවතත් සඳෙහි සේයාව පැහැදිලිව පෙනේ. මීට පෙරද මා හොඳින් අත් දැක ඇති අයුරින් පේරාදෙණියේ අහස නම් කිසිදා විශ්වාස කල නොහැක. 


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
 

Saturday, February 9, 2013

අනියම්.. ඇරයුම්..















සිහිලාරේ උණුසුම්ව සැඟවෙන්න දැවටෙන්න..
ඔබ මාගේ රහසක්ව විඳගන්න සිපගන්න...
ඇය වාගේ කුළුඳුල්ව සැතපෙන්න රොන්ගන්න..
නිල්දෑසේ කඳුලක්ව ගිලිහෙන්න ඉඩදෙන්න...


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-


හෙට උදෙන්ම අවදිවන්න..





පිණිකැට පියළි විසිරී පය ගැටෙනු දැනේ..
මයිනක ගයති කවිගී හඬ දැනුදු ඇසේ...
හනිකට ලඳුනි පිබිදී ලොව දකිනු මෙසේ..
අරුණට සුවැති සමවී මම ලියනු කෙසේ....


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
 

මිතුරියකි ඔබ



හිනැහෙන සඳ අතර තරුවකි නුඹ ගිම්හානේ..
සුවඳෙන මන බඳින කුසුමය ඇය වස්සානේ...
කිමිදෙන රස සයුර රහසකි එම ලොවමාගේ..
ඉනුමැන සුභ සදන මිතුරිය ලෙස පෙරවාගේ...


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

ඇය නැතිව ඇය එක්ක..

















සියක් මංපෙත් සුපුෂ්පිත වී - සුවඳ සීතල රැය නිමෙයි
අදත් සඳකැන් හැඟුම්බර වී - මතක පාකර සිත පෙලයි
පෙළක් සියොතුන් දුකින් නද දී - කොහිද ආදර ඇය අසයි
තවත් කඳුලක් නෙතින් ගිලි හී - සිතුම් සාගර රළ නඟයි


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

Saturday, February 2, 2013

ගැමි අරුණක අම්මා . . .




















පිපි මහනෙල් මල් සුවඳකි මඳ නල හා මුසුවන්නේ. .
සුව සිහිලැල් පිනි වැස්සකි ගම්දොර පා පිසලන්නේ. . .
රිවි අරුණැල් රැඳි අහසකි දස අත රෑ දුරලන්නේ. .
මුව හසරැල් පිපි උදයකි පින්සර ඈ සරසන්නේ. .  .    

-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
 

නිහඬවම.. . .




















පෙති කඩා විසුරුවා.. පිටු අතර සරසන්න
මලක් වෙමි අතරමඟ.. අතුපතර මත රැඳුන..
සිතුනහොත් යම් දිනෙක.. මතක පොත පෙරළන්න
සැඟවිලා ඇති සුවඳ... නොවෙනස්ම සෙනෙහසක... 


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

ලේබල්.....




















වෙඩිහඬ ඇසී හදවත් නිහඬව හඬන
ඔබ අපි වෙසෙන ගම් නොව මායිම් ගමක
සොඳුරුම සෙනෙහෙ සිත්තම් රුසිරුව ඔපන
යුවළක් එක්වෙලා ඇරඹුවා යුග දිවිගමන..

අගපිපි මල් වුවත් සෙනෙහෙන් ඔදවැඩුණ
බිය සැක ඇතිව ගෙවුනා දින සති මාස
මව්පිය දෙදෙන තුටු කඳුළක ගිල්වමින
පැතුමක තිළිණ විය බිළිඳුගේ කිරිසුවඳ..

මව බොදු කතකි කතෝළිකය පියා
සිනාසලන පොඩිපුතු හට ආගම් නැත බෙදා
වෙඩි උණ්ඩයට බියවුන මුත් ඔවුන් එදා
පන්සල්, පල්ලි බැතිසිත් පෙරදැරිව ගියා..

කොඳ මල් පිපී දෙවටේ සුවඳින් ලපළු
තල් අරණට ඉහළින් සඳරැස් මුකුළු
සුවදෙන සෙනෙහෙ මිහිරෙන් හදවත් පිබිදූ
කාලය ගෙවී දිනයක් ඇවිදින් නොසිතූ..

ත්‍රස්ත මරුන් ගම් වැදිලා හොර රහසේ
දැන් ඇහෙනවා ළඟ ළඟ එන වෙඩි සද්දේ
මව හඬ හඬා පොඩි පුතු ඇකයට ගත්තේ
පියතුම කිව් පරිදි ලන්දට ගොස් සැඟවූයේ..

ඈ ගත රුහිරු පෙරදා කිරි කර සෙනෙහෙන්
පොවමින් දැඩි කළා පුතු ආදර සයුර තරම්
එයටම නොදෙවනිය පියතුමගේ වරුණ නිතින්
සඟවාලූවේ මරුගෙන් පුතු ගලවාගනු අටියෙන්..

අළුයම පහන් වී පසුදින හිරු නැගෙන පැයේ
ලේ විල් රක්ත පැහැයෙන් ඇත ගම් පියසේ
මව හා පියා වෙඩි වැද ඇත මැදසාලේ
පුතු තනිවෙලා කෙළෙසෙද දුක පවසන්නේ..

රණවිරු කැළම ඇවිදින් එඩියෙන් පියඹා
ත්‍රස්ත මරුන් වනසයි දිවියද නොතකා
සෙබළුන් ලන්ද අවටින් යනවිට කළඹා
ඉකිගසා හඬන පුතුගේ කඳුළැලි දුටුවා..

දෝතට රැගෙන මල් වැනි මේ පුන්චි පුතා
සෙබළ කතක් දිවගියා රතුකුරුසෙ කරා
එහිදී රජයේ නීතිය හොඳහැටි විමසා
දරුනැති දෙමළ මවකට පුතු භාරකලා..


 උදාරතර මනුෂ්‍යත්වය හමුවේ ජාති ආගම් ගෝත්‍ර ආදි සමාජමය බෙදීම් වලට කිසිඳු වටිනාකමක් නොමැත.  

 -රොෂාන් නයනජිත් හේවාවිතාරණ-